අද දවසේ එළියට යනවා නම් කුඩයක් අරන් යන්න අමතක කරන්න එපා.. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්..
දිවයිනේ පවතින දේශගුණික විපර්යාස හමුවේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි සහ පැයට කිලෝමීටර් 50 දක්වා හමන තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (12) උදෑසන විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා.
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් අකුණු අනතුරු මෙන්ම තාවකාලික තද සුළං පිළිබඳව ද ජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතු බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.
කාලගුණ වාර්තාවලට අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ඒ වගේම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් අද (12) දිනය තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන් වනවා.
මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 කට වඩා වැඩි තරමක තද වැසි පතිත වීමේ දැඩි හැකියාවක් පවතිනවා. මෙයට අමතරව හම්බන්තොට සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි වාර්තා වෙන්නේ.
ඌව පළාතේත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ තත්ත්වයක් පවතිනවා.
එමෙන්ම, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු-මැද පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40-50 ත් අතර තද සුළං ඇතිවිය හැකියි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැයට කිලෝමීටර් 30-40 ත් අතර තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන් වනවා.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය සියලුම ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සමස්ත ලාංකික ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.