2026 පාපන්දු ලෝක කුසලානයට එල්ල වූ නොසිතූ බාධාව.. ක්‍රීඩකයින් සහ ලක්ෂ ගණන් ප්‍රේක්ෂකයින් දැඩි අවදානමක.
මුළු මහත් ලෝකවාසී ක්‍රීඩා ලෝලීන් වසර 4ක් තිස්සේ නොඉවසිල්ලෙන් බලා සිටි 2026 ෆීෆා (FIFA) පාපන්දු ලෝක කුසලාන තරගාවලිය අමෙරිකාව, මෙක්සිකෝව සහ කැනඩාව යන රටවල් ත්‍රිත්වයේ ඒකාබද්ධ සත්කාරකත්වයෙන් අද (11) දින නිල වශයෙන් ආරම්භ වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
කෙසේ වෙතත්, උතුරු අමෙරිකානු කලාපයේ පවතින අස්ථාවර සහ දැඩි ගිම්හාන කාලගුණය (Volatile Summer Weather) හේතුවෙන් මෙරට තරගාවලිය ක්‍රීඩකයින්ගේ සෞඛ්‍යයට මෙන්ම දක්ෂතාවලට ද බරපතල තර්ජනයක් එල්ල කරනු ඇති බව රොයිටර් (Reuters) පුවත් සේවය අනාවරණය කළා.
ජූනි සහ ජූලි මාසවලදී මෙම කලාපයේ සෙල්සියස් අංශක 40 ඉක්මවා යන අධික උෂ්ණත්වයක් සහ දරුණු උණුසුම් තරංග ඇති වීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බව දේශගුණික සහ පරිසර විද්‍යාඥයින් පෙන්වා දෙනවා.
විශේෂයෙන්ම ක්‍රීඩාංගණ තුළ මෙන්ම එළිමහන් රසික කලාපවල (Fan Zones) රැඳී සිටින ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයින් මෙලෙස සූර්ය තාපයට සෘජුවම ගොදුරු වීමේ දැඩි අවදානමක් පවතිනවා.
මෙම අහිතකර දේශගුණික තත්ත්වයන් කළමනාකරණය කිරීම සඳහා ෆිෆා ආයතනය සහ සංවිධායකයින් විසින් සුවිශේෂී පියවර කිහිපයක් ගෙන තිබෙනවා.
ඒ අනුව තරග අතරතුර ක්‍රීඩකයින් විජලනයෙන් (Dehydration) සහ තාප කම්පනයෙන් (Heat Exhaustion) ආරක්ෂා කරගැනීම සඳහා, එක් එක් අර්ධයන් මධ්‍යයේදී ක්‍රීඩකයින්ට ජලය පානය කිරීම වෙනුවෙන් විශේෂ විරාමයන් ලබාදීමට කටයුතු කර තිබෙනවා.
එමෙන්ම දවසේ වැඩිම උෂ්ණත්වයක් පවතින මධ්‍යහ්න කාලයේදී තරග පැවැත්වීම උපරිමයෙන් සීමා කර ඇති අතර, බොහෝ තරග සවස් කාලයේ සහ රාත්‍රී කාලයේ පැවැත්වීමට ද කටයුතු යොදා තිබෙනවා.
අමෙරිකාවේ හූස්ටන්, ඩලස් සහ ඇට්ලන්ටා වැනි නගරවල පිහිටි වසා දැමිය හැකි වහල සහිත (Retractable Roof) ක්‍රීඩාංගණ තුළ අතිනවීන වායුසමීකරණ (Air Conditioning) මඟින් උෂ්ණත්වය පාලනය කිරීමට පියවර ගෙන තිබෙනවා.
නමුත් මෙක්සිකෝව වැනි විවෘත ක්‍රීඩාංගණ පවතින ප්‍රදේශවල ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ට දැඩි පීඩනයකට මුහුණ දීමට සිදුවන බවද වාර්තා වෙනවා.
උෂ්ණත්වයට අමතරව කැනඩාව සහ අමෙරිකාවේ ඇතැම් ප්‍රදේශවල ගිම්හාන කාලයේදී හටගන්නා ලැව්ගිනි හේතුවෙන් ඇති වන දරුණු වායු දූෂණය ද තරගාවලියට බාධාවක් විය හැකි බවට විද්‍යාඥයින් අනතුරු අඟවනවා.
ගෝලීය දේශගුණික විපර්යාසයන් හේතුවෙන් ඉදිරියේදී මෙවැනි දැවැන්ත ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව් පවත්වන කාලසීමාවන් සහ සත්කාරක රටවල් තීරණය කිරීමේදී පරිසර සාධක කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරීමට සිදුවන බවද විශ්ලේෂකයින් වැඩිදුරටත් පෙන්වා දෙනවා.