නීතිය සුරැකීමට බැඳී සිටින අයෙකු නීතිය අතට ගනිමින් සිදුකළ මහා පරිමාණ ජාවාරම.. සැකකාර පොලිස් නිලධාරියාගේ කාමරයෙන් හමු වූ දේ මෙන්න.
රුපියල් ලක්ෂ පහකට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ආදුරුප්පුවීදිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ආදුරුප්පුවීදිය පොලිසියේ අධිකරණ රාජකාරිවල නිරතව සිටි කොස්තාපල්වරයෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළා.
බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය හරහා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වෙත ලැබුණු රහසිගත තොරතුරකට අනුව සැකකාර කොස්තාපල්වරයා කුලී පදනම මත රැඳී සිටි කාමරය වටලා මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.
එහිදී සැකකරු රැඳී සිටි කාමරයේ තිබූ කුඩා අල්මාරියක් තුළ, කොට්ටය යට සහ විවිධ ස්ථානවල සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 40,710ක්, හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 225ක්, මත්පෙති 300ක්, හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1,950ක් සහ නීතිවිරෝධී දුම්වැටි 120ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට පත් සැකකරු අනුරාධපුර, කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි වියේ පසුවන්නෙක්.
කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි සහ පොලිස් අධිකාරී (මෙහෙයුම්) ඉසුරු නිශාන්ත යන දෙපලගේ උපදෙස් මත, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අරුණ ක්‍රිෂාන්තගේ මෙහෙයවීමෙන් ඒකක 03 ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අතුල ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මේ පිළිබඳව ඉදිරි විමර්ශන සිදුකරනු ලබයි.