ලෝක කුසලානය ඇරඹෙන දවසේම Netflix වෙතින් ක්‍රීඩා ලෝලීන්ට සුපිරි තෑග්ගක්..සතයක්වත් ගන්නේ නැතුව දෙන දේ මෙන්න.
ලෝක පාපන්දු සම්මේලනය (FIFA) හා Netflix Games ආයතනය එක්ව "FIFA World Cup: Launch Edition" නමින් නවතම පාපන්දු වීඩියෝ ක්‍රීඩාවක් එළඹෙන ජූනි 11 වැනිදා නිකුත් කිරීමට සැලසුම් කරලා තිබෙනවා.
මෙම නිකුත් කිරීම 2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භ වන දිනයටම සමගාමීව සිදුවීම විශේෂත්වයක්.
මෙහි ඇති විශේෂත්වය වන්නේ Netflix ග්‍රාහකයින් (Subscribers) සඳහා කිසිදු අතිරේක ගාස්තුවකින් තොරව මෙම ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම නොමිලේ ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබීමයි.
EA Sports සමාගම සමඟ පැවැති දීර්ඝකාලීන සබඳතාව බිඳවැටීමෙන් පසු, විවිධ ඩිජිටල් වේදිකා ඔස්සේ ප්‍රේක්ෂකයින් අතරට යාමට FIFA ආයතනය ගෙන ඇති නව උපායමාර්ගික පියවරක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්.
Delphi Interactive සමාගම සමඟ එක්ව නිර්මාණය කර ඇති මෙම ක්‍රීඩාව ඉතා සරලව හැසිරවිය හැකි පරිදි සකස් කර තිබෙනවා.
මෙහිදී ක්‍රීඩකයින්ට තම ස්මාර්ට් ජංගම දුරකථනය දුරස්ථ පාලකයක් (Controller) ලෙස භාවිත කරමින්, රූපවාහිනී තිරය හරහා ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවනවා.
ඒ සඳහා කළ යුත්තේ රූපවාහිනී තිරයේ දිස්වන QR කේතයක් ජංගම දුරකථනයෙන් ස්කෑන් කිරීම පමණයි.
මෙවර ලෝක කුසලානයට සුදුසුකම් ලබා ඇති කණ්ඩායම් 48ම, නිල ක්‍රීඩාංගණ 16ම හා ක්‍රීඩකයින් 1,200කට අධික සංඛ්‍යාවක් මෙම වීඩියෝ ක්‍රීඩාවට ඇතුළත් කර තිබෙනවා.
එකවර ක්‍රීඩකයින් සිව්දෙනෙකුට (4 Players) දක්වා මෙයට සම්බන්ධ විය හැකි අතර, සැබෑ ලෝක කුසලාන තරගාවලියේ සිදුවන වෙනස්වීම් සමඟ මෙම ක්‍රීඩාවේ අන්තර්ගතයන්ද දිනෙන් දින යාවත්කාලීන වන බව FIFA ආයතනය වැඩිදුරටත් සඳහන් කළා.