ඉදිරියේදී ඉන්ධන මිලට මොකක් වේවිද? ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කළ අනතුරු ඇඟවීම මෙන්න.
පසුගිය දිනවල ඉහළ ගිය ඉන්ධන මිල රටේ බොහෝ දෙනාගේ දැඩි අවධානයට ලක් වූයේ එය මහජනතාවට දැරිය නොහැකි මට්ටමකට පත්වීමත් සමඟයි.
කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා විසින් ඊයේ (3 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී අතිශය තීරණාත්මක කරුණු කිහිපයක් අනාවරණය කර තිබෙනවා.
ගෝලීය වෙළෙඳපොළේ ඩොලරය ඉහළ යාම හා මැදපෙරදිග කලාපයේ පවතින යුද තත්ත්වය තවදුරටත් සමනය නොවීම මේ සඳහා ප්‍රධාන වශයෙන් බලපා තිබෙනවා.
මේ හේතුවෙන් මෙරට ජනතාව ඉන්ධන පරිභෝජනය ඉතාමත් ප්‍රවේසමෙන් සිදු නොකළහොත්, ඉදිරි කාලයේදී බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිල වශයෙන් අනතුරු අඟවනවා.
රජය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඉදිරියේදී ඇතිවිය හැකි මෙවැනි ගැටලුකාරී තත්ත්වයන් පාලනය කරගැනීම සඳහා හැකි උපරිම අයුරින් ඉන්ධන අරපිරිමැස්මෙන් පරිහරණය කිරීමට පියවර ගන්නා ලෙසයි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු වෙළෙඳපොළ කොටස කලින් තිබූ සියයට 53-54 සීමාවේ සිට මේ වන විට සියයට 76-80 දක්වා විශාල වශයෙන් වර්ධනය වී ඇති බව මෙහිදී සභාපතිවරයා අවධාරණය කළා.
පසුගිය කාලසීමාවන් තුළ මෙරටට පැමිණි පෞද්ගලික සමාගම් අර්බුදකාරී අවස්ථාවලදී කිසිදු පාඩුවක් නොදරා, එම බර රජය පිට පැටවූ බවත් ඔවුන් සිදුකළේ ලාභ ලැබීම පමණක් බවත් ඔහු පෙන්වා දුන්නා.
වෙනත් රටවලට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල ඉහළ දමා ඇත්තේ සියයට 48ක් වැනි අඩු ප්‍රතිශතයකින් පමණක් බව පවසන සභාපතිවරයා, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වත්මන් ආණ්ඩුව සතුව නොතිබුණේ නම්, පෞද්ගලික සමාගම් සියයට 115ක මිල වැඩි කිරීමක් සමඟ ජනතාවට ඩීසල් ලීටරයක් රුපියල් 750ක වැනි අධික මිලකට මිලදී ගැනීමට සිදුවන බවද ප්‍රකාශ කළා.
එම නිසා, ජනතාව මෙම ඉන්ධන සුරැකීමේ පියවර ගත යුත්තේ ආණ්ඩුව කෙරෙහි ඇති ආදරයට හෝ සංස්ථාවේ ඉල්ලීම නිසාම නොව, තමන්ටම සිදුවන පෞද්ගලික ආර්ථික පාඩුව ගැන සිතා බලා බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළා.