හෙද සේවයට අයදුම්පත් කැඳවීම ඇරඹෙයි.. තවත් 3000ක් බඳවා ගැනීමේ අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කෙරේ..
මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මානව සම්පත් හිඟය අවම කරමින් සේවාව වඩාත් ශක්තිමත් කිරීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉතාමත් සුවිශේෂී තීරණයක් ගෙන තිබෙනවා.
ඒ අනුව, 2025 - 2029 වසර පහක කාලය තුළ අදාළ සේවාවට 13,600ක පිරිසක් බඳවා ගැනීමේ ජාතික ඉලක්කය සම්පූර්ණ කිරීම වෙනුවෙන් තවත් 3,000ක පිරිසක් සිසු පුහුණුව සඳහා බඳවා ගැනීමට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය මේ වන විට නිල වශයෙන් නිකුත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ සෘජු උපදෙස් පරිදි අමාත්‍යාංශයේ ප්‍රධාන සැලසුමක් ලෙස මෙය රට පුරා ක්‍රියාත්මක වනවා.
අමාත්‍යාංශය සඳහන් කරන පරිදි, මෙම සුවිශේෂී වෘත්තීය පුහුණුව සඳහා බඳවා ගැනීමට නියමිතව ඇත්තේ 2021, 2022, 2023 හා 2024 යන වර්ෂවලදී විද්‍යා හා ගණිත විෂය ධාරාවන් යටතේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට ඉදිරිපත්ව සමත් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ය.
සුදුසුකම් ලත් අයදුම්කරුවන්ට මැයි මස 29 වැනිදා සිට ජුනි මස 30 වැනිදා දක්වා මාසයක කාලයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය (www.health.gov.lk) පරිශීලනය කර මීට අදාළ අයදුම්පත් මාර්ගගත ක්‍රමයට යොමු කිරීමේ හැකියාව පවතිනවා.
සුදුසුකම්ලත් අයදුම්කරුවන් තෝරා ගැනීමේ නිල සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව, තෝරා ගන්නා පිරිස සඳහා වන වෘත්තීය පුහුණුව මෙම වර්ෂය අගභාගයේදී ආරම්භ කිරීමට සියලු සැලසුම් සකස් කර තිබෙනවා.
මෙරට සෞඛ්‍ය සේවාවේ වත්මන් දත්තවලට අනුව, සමස්ත රාජ්‍ය සෞඛ්‍ය සේවාව තුළ මේ වන විට 43,553 ක ශ්‍රම බලකායක් සක්‍රීය සේවයේ නිරතව සිටිනවා.
පවතින මානව සම්පත් හිඟය පියවීම උදෙසා පසුගිය වසර දෙකක කාලසීමාව තුළ පමණක් III ශ්‍රේණියේ සේවකයන් 3,441 ක පිරිසක් බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කළා.
එසේම, විද්‍යාවේදී (BSc) උපාධිධාරීන් 515 දෙනෙකුට ද පසුගියදා පත්වීම් ලිපි ලබා දීමට පියවර ගෙන තිබුණා.
මීට අමතරව, ඉදිරියේදී මෙරට සෞඛ්‍ය සේවාවට එක්වීමේ අරමුණින් දැනටමත් දිවයින පුරා පිහිටි විදුහල් තුළ සිසුන් 7,800 කට ආසන්න ප්‍රමාණයක් සිය වෘත්තීය පුහුණුවීම්වල නිරත වෙමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.