"සහල් ආනයනය කළොත් ඇමති වසන්තට ගමට එන්න දෙන්නේ නැහැ" ජාතික ගොවිජන එකමුතුවෙන් අනතුරු ඇඟවීමක්..
රට තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් පවතින වත්මන් තත්ත්වය පිළිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරමින් ජාතික ගොවිජන එකමුතුව විසින් විෂයභාර අමාත්‍යවරයා වෙත සෘජු අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.
රට තුළ අවශ්‍ය තරම් සහල් හා වී සංචිත පවතිද්දී, පාරිභෝගිකයා සැනසීමට මුවා වී නැවත සහල් ආනයනය කිරීමට කටයුතු කළහොත්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා පාරිභෝගික කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහට ගමට පැමිණීමට ඉඩ නොතබන බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් ප්‍රකාශ කළා.
මෙම අත්තනෝමතික ආනයන තීරණ හරහා දේශීය ආර්ථිකය විනාශ කර, වෙනත් රටවල ගොවීන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට බලධාරීන් කටයුතු කරන බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපතිවරයා බරපතළ ලෙස චෝදනා කළා.
පසුගිය උත්සව සමයේදී දින කිහිපයක කීරිසම්බා අවශ්‍යතාවය වෙනුවෙන් මෙට්‍රික් ටොන් 2,700ක් හෝ 4,000ක් වැනි ප්‍රමාණයක් ප්‍රමාණවත් තිබියදී, අවශ්‍යතාවයට වඩා 20-30 ගුණයක සහල් තොග රට තුළට ගෙන්වා ඇති බව ඔහු පෙන්වා දුන්නා.
මේ වන විට රේගුවෙන් නිදහස් කර ඇති සහල් ප්‍රමාණය ද ඇතුළුව සමස්තයක් ලෙස මෙට්‍රික් ටොන් 150,000කට ආසන්න සහල් තොගයක් රට තුළට ගෙන්වා ඇති බව ද වාර්තා වනවා.
පවතින නිල දත්තවලට අනුව 2025 හා 2026 වසරවල යල හා මහ කන්නයන්ගෙන් ඉතිරි වූ මෙට්‍රික් ටොන් මිලියන 3.6ක දැවැන්ත වී සංචිත ප්‍රමාණයක් රට පුරා පවතිනවා.
මේ වන විටත් දේශීය ගොවියා සතුව සමස්ත නිෂ්පාදනයෙන් 35%ක වී තොග ඉතිරිව පවතින බැවින්, ඉදිරි යල කන්නයේ අස්වනු නෙළන තෙක් කිසිදු සහල් ආනයනයක අවශ්‍යතාවයක් මතු නොවන බව ගොවි සංවිධාන අවධාරණය කළා.
සහල්වලට අමතරව ඉන්දියාව, පකිස්ථානය වැනි රටවලින් දිගින් දිගටම ලූණු හා අල ආනයනය කිරීම නිසා දේශීය ලූණු හා අල ගොවියාද අන්ත අසරණ වී තිබෙනවා.
මෙම ආනයන තීරණ පිටුපස ඇත්තේ පාරිභෝගිකයාට සහන සැලසීමේ අරමුණක් නොව, නිලධාරීන්ගේ හා ඇමතිවරුන්ගේ "අතයට කොමිස්" ලබාගැනීමේ බැඳීමක් බවට සභාපතිවරයා චෝදනා කළා.
මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතු අතර, කීරිසම්බා වෙනුවට ආදේශකයක් ලෙස 'පොන්නි සම්බා' ආනයනය කිරීම හා කැකුළු, නාඩු සහල් ආනයනය පිළිබඳව සැබෑ දත්ත සෙවිය යුතු බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.