ඇඹිලිපිටියේ ප්‍රමුඛ පෙළේ ආයතනයක අද උදෑසන හදිසි ගින්නක්.. අනතුරෙන් සේවකයන් මුදාගත් හැටි මෙන්න..
ඇඹිලිපිටිය නගරය ආසන්නයේ පිහිටි ප්‍රසිද්ධ ඇඟලුම් කර්මාන්ත ශාලාවක අද උදෑසන සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් ප්‍රදේශයේ දැඩි නොසන්සුන්කාරී හා කණගාටුදායක තත්ත්වයක් හටගෙන තිබෙනවා.
කර්මාන්ත ශාලාව තුළ හටගත් තද බල ගින්නක දුම් ආඝ්‍රාණය වීම හේතුවෙන් එහි සේවය කළ පුද්ගලයින් 19 දෙනෙකු හදිසියේම ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කළා.
අද උදෑසන 7ට පමණ ප්‍රදේශවාසීන් විසින් ඇඹිලිපිටිය නගරය ආසන්නයේ පිහිටි මෙම ඇඟලුම් කර්මාන්ත ශාලාව තුළින් විශාල වශයෙන් දුමාරයක් පිටවන බව මුලින්ම දැක තිබෙනවා.
එහිදී අදාළ කර්මාන්ත ශාලාවේ ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ඇති බව හඳුනාගැනීමත් සමඟම, එහි සිටි සේවක පිරිස් ඉතාමත් කඩිනමින් හා ආරක්ෂිතව මුදා ගැනීමට එසැණින් කටයුතු කළා.
තත්ත්වය පාලනය කිරීම සඳහා ඇඹිලිපිටිය නගර සභාවේ ගිනි නිවීමේ රථයක්, සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ හා ඇඹිලිපිටිය යුධ හමුදා කඳවුරේ ජල බවුසර් ද ඇතුළුව ඒකාබද්ධ සහන කණ්ඩායම් වහාම එම ස්ථානයට කැඳවීමට පියවර ගත් බවද පොලිසිය සඳහන් කර තිබෙනවා.
සියලු දෙනාගේම දැඩි උත්සාහය මත මේ වන විට ගින්න සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමට කටයුතු කර ඇති අතර, මෙම හදිසි ගින්න හටගැනීමට හේතුව කුමක්දැයි සොයා බැලීම සඳහා ඇඹිලිපිටිය පොලිසිය විසින් ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කරනවා.