මිසයිලයක්ද? රොකට්ටුවක්ද? නැත්නම් පිටසක්වල යානාවක්ද? පුත්තලම අහසේ දිස්වූ අද්භූත වස්තුව මෙන්න.
පුත්තලම නගරයට ඉහළින් අහසේ පෙරේදා අලුයම කාලයේ දිස්වුණ දීප්තිමත් අද්භූත වස්තුවක් හේතුවෙන් ප්‍රදේශවාසීන් අතර දැඩි කලබලයක් හටගෙන තිබෙනවා.
ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කරන පරිදි, මෙම සුවිශේෂී ආලෝකය දැකබලා ගැනීම සඳහා ජනතාව විශාල වශයෙන් තම නිවෙස්වලින් පිටතට පැමිණ ඇති අතර, කිහිප දෙනෙකුටම එහි ඡායාරූප ගැනීමට ද හැකිවී තිබෙනවා.
මෙම අද්භූත වස්තුව අඩි කිහිපයක් දිගින් යුක්ත වූ බවත්, රොකට්ටුවක හෝ මිසයිලයක මෙන් ගිනිමය වලිගයක් (tail of fire) ඊට තිබූ බවත් ප්‍රදේශවාසීන් සඳහන් කළා.
සාමාන්‍ය ගුවන් යානයකට වඩා අධික වේගයකින්, අඩි 300ක පමණ පහත් උසකින් පියාසර කළ එය, පියවි ඇසට පෙනෙන මානයෙන් ඔබ්බට පුත්තලම කලපුව දෙසින් ඈත අහසට ගොස් නොපෙනී ගොස් තිබෙනවා.
මේ අතර, යම් අනතුරක් සිදුවිය හැකි යැයි බියෙන් දැඩි ලෙස කලබල වූ ඇතැම් පිරිස් ආරක්ෂිත ස්ථාන කරා දිවගොස් සැඟවී ඇති බවට ද වාර්තා වනවා.
මෙම අද්භූත සංසිද්ධිය පිළිබඳව ජනතාව අතර විවිධ බියකරු මත හා කටකථා පැතිර යමින් පවතින පසුබිමක, ඒ පිළිබඳව විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ඉදිරිපත් කර තිබෙනවා.
මෙම වස්තුව උල්කාපාතයක් (meteorite) විය හැකි බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා මහාචාර්ය හා නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න ප්‍රකාශ කළා.
"එයට ගිනිමය වලිගයක් තිබුණේ නම්, එම වස්තුව උල්කාපාතයක් විය හැකියි. වසරේ ඕනෑම කාලයක රාත්‍රී හෝ අලුයම කාලයේදී උල්කාපාත දර්ශනය විය හැකියි. එබැවින් මෙය උල්කාපාතයක් වීමට ඇති ඉඩකඩ වැඩියි," යනුවෙන් ඔහු පෙන්වා දුන්නා.
කෙසේවෙතත්, මේ පිළිබඳව ස්ථිර නිගමනයකට පැමිණීම සඳහා ඉදිරියේදී පුළුල් අධ්‍යයනයක් සිදුකළ යුතු බව මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළා.