දන්සලකට හැදූ මාළු පාන් 550ක් සිමෙන්ති පොළොවක දාලා.. කටුකුරුන්දේ බේකරියකට නීතිමය පියවර..
දන්සලකට ලබා දීම සඳහා කළුතර, කටුකුරුන්ද ප්‍රදේශයේ බේකරියක නිෂ්පාදනය කරන ලද මාළු පාන් තොගයක් සෞඛ්‍යානුකූල නොවන අන්දමින් සිමෙන්ති පොළොව මත දමා තිබියදී සොයාගත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඒවා ඊයේ (01) විනාශ කර දැමීමට පියවර ගෙන තිබෙනවා.
කළුතර ප්‍රදේශයේ දන්සල් හා දන්සල් සඳහා ආහාර නිෂ්පාදනය කරන ආයතන පරීක්ෂා කරමින් සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉකුත් (31) වැනිදා මෙම බේකරිය හදිසි පරීක්ෂාවකට ලක් කර ඇති අතර, එහිදී මෙම තත්ත්වය නිරීක්ෂණය වී තිබෙනවා.
කටුකුරුන්ද ප්‍රදේශයේ සංවිධානය කර තිබූ දන්සලක් සඳහා මාළු පාන් 2500 ක ඇණවුමක් මෙම බේකරියට ලබාදී තිබූ බවට වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.
එහිදී නිෂ්පාදිත මාළු පාන් තොගයක් පෙට්ටිවල අසුරා තිබූ අතර, අනෙක් මාළු පාන් 550 ක ප්‍රමාණය මෙලෙස බිම දමා තිබියදී සොයාගෙන තිබුණා.
මීට අමතරව, මෙම බේකරියේ සේවකයින් උඩුකය නිරුවත්ව සේවයේ යෙදී සිටි බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිරීක්ෂණයට ලක්ව තිබෙනවා.
වෙසක් දිනයේත් ඊට පසු දිනත් කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයේ දන්සල් 200 ක් පමණ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරීක්ෂාවට ලක් කර තිබූ අතර, එහිදී සුළු වැරදි තිබූ ස්ථාන නිවැරදි කර ඒවා පවත්වාගෙන යෑමට ඉඩ ලබා දී තිබූ බවටද වාර්තා වුණා.
කෙසේ වෙතත්, සෞඛ්‍යානුකූල නොවන ආකාරයෙන් ආහාර ගබඩා කිරීම සම්බන්ධයෙන් මෙම බේකරියට එරෙහිව මේ වන විට නීති මගින් කටයුතු කිරීමට පියවර ගෙන ඇතැයි ද කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කරනවා.
කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ වැඩ බලන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ගිහාන් මාලින්ද ප්‍රනාන්දු සහ කටුකුරුන්ද 02 මහජන සෞඛ්‍ය පරීක්ෂක එරංග ගුණරත්න යන නිලධාරින් මෙම ආහාර පරීක්ෂාව සඳහා එක්ව සිටියා.