බස් ගාස්තු සංශෝධනය ගැන අවසන් තීරණයක් ගැනීමට බස් සංගම් අද රැස්වෙයි..
පවතින දැඩි ආර්ථික බලපෑම් හා ඩීසල් මිල ඉහළ යාම හමුවේ බස් ගාස්තු ඉහළ නොදැමීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව බස් සංගම් නියෝජිතයින් සිය විරෝධය පළ කර තිබෙනවා.
මේ හේතුවෙන් සිදුවී ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ ඉදිරියේදී ගනු ලබන දැඩි ක්‍රියාමාර්ග පිළිබඳව අවසන් තීරණයක් ගැනීම සඳහා බස් සංගම් නියෝජිතයින් අද (02) විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිතයි.
ඩීසල් මිල ඉහළ යාමට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනයක් අත්‍යවශ්‍ය වුව ද ඊට නිසි ප්‍රතිචාරයක් නොලැබීම නිසා පෞද්ගලික බස් කර්මාන්තය දැඩි කඩා වැටීමකට ලක්ව ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළා.
අද දින පැවැත්වෙන මෙම තීරණාත්මක සාකච්ඡාවෙන් අනතුරුව, ඉදිරි දිනවලදී බස් ධාවනය අඛණ්ඩව සිදු කරන්නේ ද නැතහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන්නේ ද යන්න පිළිබඳව අවසන් තීරණයක් ගන්නා බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
බස් රථ ධාවනයෙන් ඉවත් වුවහොත් දෛනික මගී ජනතාව දැඩි අපහසුතාවයකට පත්වීමේ අවදානමක්ද මේ වනවිට මතුව තිබෙනවා.