ශ්‍රී ලංකාවේ තොරණ කලාවේ මුල්ගල.. වසර 70කට ආසන්න ඉතිහාසයක් ඇති තොටළඟ තොරණේ අපූරු කතාව මෙන්න.
Tuesday, 02 June 2026 - 12:26 | Views - 69
ශ්‍රී ලංකාවේ වෙසක් සංස්කෘතිය සමඟ අතිශයින්ම බැඳී පවතින ප්‍රධානතම අංගයක් වන්නේ වෙසක් තොරණයි.

මෙරට සමස්ත තොරණ කලාවේම මූලාරම්භය ලෙස සැලකෙන්නේ කොළඹ පිහිටි සුප්‍රසිද්ධ "තොටළඟ තොරණ" වන අතර, එය එම ප්‍රදේශයේ අනන්‍යතාවය සනිටුහන් කරන ප්‍රධානතම සලකුණක්ද වනවා.

තොටළඟ තොරණේ ආරම්භය සිදුවන්නේ මීට දශක කිහිපයකට පෙරයි.

1952 වසරේදී ප්‍රදේශයේ පරණම නාට්‍ය කතා රචකයෙකු වූ සංඝදාස මාස්ටර් විසින් සිය නිවස ඉදිරිපිට කුඩා "පෙට්ටි තොරණක්" නිර්මාණය කර ප්‍රදර්ශනය කිරීමට කටයුතු කළා.

පසුව ප්‍රදේශයේ තරුණ පිරිස් එකතුවී සමිතියක් පිහිටුවා ගනිමින් මෙම කලාව විශාල කිරීමට තීරණය කළ අතර, ඒ අනුව 1955 වර්ෂයේදී පළමු වරට නිල වශයෙන් තොටළඟ තොරණ ඉදිකෙරුණා.

එහි නිර්මාතෘවරයා ලෙස සැලකෙන්නේ එවකට සමිතියේ ප්‍රධානියා ලෙස කටයුතු කළ එච්. ඒ. විල්බට් පෙරේරායි.

‘මහා භද්‍ර කල්පය’ ප්‍රදර්ශනය කළ එම පළමු තොරණ නැරඹීම සඳහා එකල ජනතාව රෑ කළුවරේ විලක්කු දල්වාගෙන වතු මැදින් පවා පැමිණි බව ඉතිහාසයේ සඳහන් වෙනවා.

තොටළඟ තොරණේ ඇති සුවිශේෂී කලාත්මක වටිනාකම නිසාම, 80 දශකයේ අගභාගයේදී මෙය ජපානය දක්වා රැගෙන ගොස් ප්‍රදර්ශනය කිරීමට ද කටයුතු කළා.

‘යමා මහා පෙළහර’ ජාතක කතාව නිරූපණය කළ එම තොරණ නැරඹූ ජපන් ජාතිකයින්ගේ ඉල්ලීම මත, ප්‍රවීණ චිත්‍ර ශිල්පී පුෂ්පානන්ද දෙනිපිටියගේ චිත්‍රවලින් හා විදුලි ශිල්පී ඒ. බී. ආරියදාසගේ විදුලි ආලෝකයෙන් හැඩවූ මෙම තොරණ ජපානයේදී සාර්ථකව ප්‍රදර්ශනය කෙරුණා.

තොටළඟ තොරණේ ඇති වටිනාම අංගය වන්නේ, වෙසක් සමයට පමණක් නොව වසර පුරාම මේ සඳහා මුදල් එකතු කිරීමයි.

ප්‍රදේශයේ මහා පරිමාණ ව්‍යාපාරිකයන් මෙන්ම පදික වෙළදාමේ යෙදෙන සාමාන්‍ය මිනිසුන් පවා දෛනිකව ලබාදෙන රුපියල් 10, 20, 50 හා 100 වැනි සුළු මුදල් එකතු කර ගනිමින්, මුළු මහත් රටටම නොමිලේ නැරඹීම සඳහා මෙම මහා කලා නිර්මාණය බිහි කිරීමට තොටළඟ ශ්‍රී වෛශ්‍යාලෝක සමිතිය කටයුතු කරනවා.

පවතින ආර්ථික අපහසුතා මැද වුව ද මෙවර තොරණ අඩි 65ක් උසින් හා අඩි 65ක් පළලින් යුක්තව, විදුලි බල්බ 65,000ක ආලෝකයෙන් ප්‍රදර්ශනය කිරීමට සමිතිය කටයුතු කර තිබෙනවා.

කෙසේවෙතත්, විදුලි අර්බුදය හේතුවෙන් දිනකට ඩීසල් ලීටර් 350ක් වැය කරමින් ජෙනරේටරයක් මඟින් විදුලිය සැපයීමට සිදුවීම නිසා දිනක විදුලි පිරිවැය පමණක් රුපියල් 140,000ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මීට අමතරව, ඉන්දියාවෙන් ආනයනය කරන තීන්ත හා බුරුසු ඇතුළු අමුද්‍රව්‍ය මිල ඉහළ යාම නිසා මීට පෙර ලක්ෂ 20කින් නිම කළ තොරණක් සඳහා වර්තමානයේ ලක්ෂ 60කට ආසන්න මුදලක් වැය වන බව ජ්‍යෙෂ්ඨ චිත්‍ර ශිල්පී පුෂ්පානන්ද දෙනිපිටිය පැවසුවා.

ඩිජිටල්කරණය නිසා සාම්ප්‍රදායික අතින් අඳින චිත්‍ර කලාව නැතිවී යාමේ අවදානම හා ක්ෂේත්‍රයේ නවක ශිල්පීන්ගේ දැඩි හිඟකම හේතුවෙන්, ඉදිරියට මෙම ඓතිහාසික කලාව රැක ගැනීම සඳහා සහන මිලකට විදුලිය ලබාදීම වැනි රාජ්‍ය අනුග්‍රහයක් අත්‍යවශ්‍ය බව තොරණ සංවිධායක මණ්ඩලය අවධාරණය කර සිටිනවා.

Wilbert Perera
තොටළඟ තොරණේ නිර්මාතෘ එච්. ඒ. විල්බට් පෙරේරා

Thotalanga Thorana in Japan
ජපානයට ගිය තොටළඟ තොරණ

Pushpananda Denipitiya
ජ්‍යෙෂ්ඨ තොරණ චිත්‍ර ශිල්පී පුෂ්පානන්ද දෙනිපිටිය


මෙවර තොරණ 2026

මූලාශ්‍රය : බීබීසී 
 
Share This Article
Hiru Tv Blog
ජාත්‍යන්තර දුම්වැටි සහ මත්විරෝධී දිනය...
Hiru Tv Blog
ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ ඉමහත් ජනප්‍රියත්වයක් වගේම ප්‍රේක්ෂක හදවත්වල නොමඳ...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවේ අපි කවුරුත් ආදරය කරන ආදරණීය රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
ඇය මේ තරම් දුර ගෙවා ආවේ දුශ්කර ගමන් මාර්ගයක්.. ඒත් ඇය ඒ හැම දෙයක්ම සතුටෙන් බාර...
Hiru Tv Blog
චීනය අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ නව වාර්තාවක් තැබීමට සූදානම් වන බව විදෙස් වාර්තා...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය, සන්නිවේදනය, ජාතික ආරක්ෂාව, පාරිසරික සුපරීක්ෂණය...
Hiru Tv Blog
ඔබ iPhone එකක් භාවිත කරන්නෙකු නම්, මීට වසර 9කට පමණ පෙර iPhone X මාදිලිය සමඟ ඇපල් සමාගම හඳුන්වා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top