ජැක්ලින් ෆර්නැන්ඩස් අමාරුවේ වැටෙයි.. කෝටි 200ක මුදල් විශුද්ධිකරණ නඩුවෙන් හෙළිවූ දේ මෙන්න.
සුකේෂ් චන්ද්‍රසේකර් (Sukesh Chandrasekhar) සම්බන්ධ ඉන්දීය රුපියල් කෝටි 200ක දැවැන්ත මූල්‍ය වංචාව හා මුදල් විශුද්ධිකරණ නඩුව හේතුවෙන් සුපිරි නිළි ජැක්ලින් ෆර්නැන්ඩස් (Jacqueline Fernandez) දැඩි නීතිමය ගැටලුවලට මුහුණ දී සිටිනවා.
තමා සුකේෂ්ගේ රැවටීමට ලක්වූ වින්දිතයෙකු මිස මෙම මූල්‍ය වංචාවට කිසිදු සම්බන්ධයක් නැති බව මෙම සිදුවීම කරළියට පැමිණි දින සිටම ජැක්ලින් දිගින් දිගටම ප්‍රකාශ කර සිටියා.
කෙසේවෙතත්, මෙම නඩුවේ නවතම තත්ත්වය අනුව, සුකේෂ්ගේ අපරාධ පසුබිම පිළිබඳව හොඳින්ම දැනුවත්ව සිටියදී පවා ජැක්ලින් ඔහුගෙන් වටිනා තෑගි ලබාගෙන ඇති බවට මූලික සාක්ෂි පවතින බව අධිකරණය නිරීක්ෂණය කර තිබෙනවා.
දිල්ලි පැටියාලා හවුස් (Patiala House) අධිකරණයේ අතිරේක මහාධිකරණ විනිසුරු (ASJ) ප්‍රශාන්ත් ශර්මා, මෙම නඩුවේ සියලුම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමට නියෝග කර ඇති බව The Times of India පුවත්පත වාර්තා කරනවා.
අපරාධවලින් උපයාගත් මුදල් භාවිතය වසන් කිරීම සඳහා ඇය සුකේෂ් චන්ද්‍රශේඛර් සමඟ කුමන්ත්‍රණය කර ඇති බව ජැක්ලින්ගේ මැදිහත්වීම පිළිබඳව අදහස් දක්වමින් අධිකරණය සඳහන් කළා.
අධිකරණයට අනුව, මෙම නඩුවේ සෙසු විත්තිකාරියන් වන පින්කි ඉරානි (Pinky Irani) හා ලීපක්ෂි එල්ලාවඩි (Leepakshi Ellawadi) විසින් සුකේෂ්ගේ සාපරාධී අතීතය පිළිබඳව ජැක්ලින්ව පැහැදිලිවම දැනුවත් කර තිබුණා.
එසේ තිබියදී පවා, ඇය ඔහුගෙන් රුපියල් කෝටි 5.71ක් වටිනා සුඛෝපභෝගී තෑගි ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා.
මීට අමතරව, ජැක්ලින්ගේ සහෝදරියක වන ජෙරල්ඩින් ජේ. වෝකර්ගේ (Geraldine J Walker) විදේශීය බැංකු ගිණුමකට අමෙරිකානු ඩොලර් 172,000කට අධික මුදලක් හා ඇගේ සහෝදරයා වන වොරන් ජේ. ෆර්නැන්ඩස්ගේ (Warren J Fernandez) ගිණුමට ඔස්ට්‍රේලියානු ඩොලර් 26,000ක් බැර කර ඇති බවට විමර්ශකයෝ චෝදනා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නා.
ජැක්ලින් ෆර්නැන්ඩස්, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ (PMLA) 3 වැනි වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් කර ඇති බවට ප්‍රබල සැකයක් මතු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි වාර්තා වී ඇති බව චෝදනා ගොනු කිරීමට පදනම් වූ කරුණු පැහැදිලි කරමින් විනිසුරු ශර්මා ප්‍රකාශ කළා.
ප්‍රකාශ සටහන් කරගන්නා අවස්ථාවේදී, පින්කිගේ ජංගම දුරකථනයෙන් සොයාගත් ජැක්ලින්ගේ දෙමාපියන්ට කාර් රථ මිලදී ගැනීම පිළිබඳ සාක්ෂි ඇයට පෙන්වූ විට, ඇය එම වාහන ලැබුණු බව පිළිගත් අතර සිය දෙමාපියන්ට කාර් මිලදී ගැනීමට යොදාගත් සාපරාධී මුදල් වසන් කිරීම සඳහා ඇය විත්තිකාර සුකේෂ් සමඟ හවුල් වී ඇති බව මෙයින් පැහැදිලි වුණා.
තවද, TTV දිනකරන් අල්ලස් නඩුව, කැනරා බැංකු වංචාව හා ව්‍යාජ සමාගම් හරහා ආයෝජකයින් රැවටීමේ ජාවාරම් ඇතුළු සුකේෂ් සම්බන්ධ නඩු රැසක් පිළිබඳ විස්තර ඇතුළත් පුවත්පත් වාර්තාවක් ද ජැක්ලින් වෙත කලින්ම යවා තිබූ බව අධිකරණය සඳහන් කළා.
එසේ තිබියදීත්, ඇය සුඛෝපභෝගී තෑගි, සහෝදර සහෝදරියන්ගේ ගිණුම්වලට මුදල් හුවමාරු කිරීම් හා දෙමාපියන්ට ලබාගත් කාර් රථය හරහා එම සාපරාධී මුදල් අඛණ්ඩව ලබාගෙන ඇති බව උසාවිය වැඩිදුරටත් අවධාරණය කර සිටියා.