ශ්‍රී පාද වන්දනා සමය හෙටින් අවසන්.. සධාතුක කරඩුව වැඩමවන පෙරහැරේ නවතම තතු මෙන්න..
2025-2026 වර්ෂය වෙනුවෙන් පැවැත්වුණු ගෞතම ශ්‍රී පාද වන්දනා සමය වෙසක් පුන් පොහෝ දිනයට පසු දින, එනම් හෙට (මැයි 31) දිනෙන් නිල වශයෙන් අවසන් කරන බව ශ්‍රී පාදස්ථානාධිපති, ආචාර්ය පූජ්‍ය බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නායක හිමියන් පවසනවා.
වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් ශ්‍රී පාද උඩ මළුවේ විශේෂ ආගමික වැඩසටහන් ගණනාවක් පැවැත්වෙන බව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ශ්‍රී පාදස්ථානාධිපති නාහිමියන් සඳහන් කළා.
හෙට (31) උදෑසන ශ්‍රී පාද උඩ මළුවේ පැවැත්වෙන සුවිශේෂී බුද්ධ පූජාවෙන් අනතුරුව, එහි තැන්පත් කර ඇති සධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාවන් හා දේව ආභරණ පැල්මඩුල්ල ශ්‍රී පාද රාජමහා විහාරස්ථානය දක්වා වැඩමවීම ආරම්භ කරනවා.
ඒ අනුව රත්නපුර - පලාබද්දර මාර්ගයේ හා කුරුවිට - එරත්න මාර්ගයේ ප්‍රධාන පෙරහැරවල් දෙකක් ගමන් කිරීමටයි කටයුතු යොදා තිබෙනවා.
එදිනම ශ්‍රී පාද උඩ මළුවේ දහවල් පැවැත්වෙන බුද්ධ පූජාවෙන් අනතුරුව තවත් පෙරහැරක් නල්ලතන්නිය පුදබිම දක්වා වැඩම කරවීමට නියමිතයි.
ඉන්පසුව එදින පස්වරුවේ නල්ලතන්නිය - බගවන්තලාව - බලංගොඩ මාර්ගය ඔස්සේත්, නල්ලතන්නිය - ලක්ෂපාන - අවිස්සාවේල්ල - රත්නපුර මාර්ගය ඔස්සේත් තවත් පෙරහැරවල් දෙකක් පැල්මඩුල්ල රජමහා විහාරස්ථානය දක්වා ගමන් ගන්නා බවයි උන්වහන්සේ කියා සිටියා.
මෙසේ උත්තමාචාර මධ්‍යයේ වැඩම කරවන සධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව හා දේව ආභරණ ඉදිරි ශ්‍රී පාද අවාරය අවසන් වන තෙක් පැල්මඩුල්ල රාජමහා විහාරස්ථානයේ විශේෂ කුටියක මහජන වන්දනාමාන පිණිස සුරක්ෂිතව තැන්පත් කර තිබෙනවා.