'දිට්වා' ආපදාව හමුවේ ජන ජීවිතය සුරැකීමට පියවර.. අත්‍යාවශ්‍ය සේවා ගැසට් නිවේදනය දීර්ඝ කෙරේ.
Friday, 29 May 2026 - 13:11 | Views - 64

'දිට්වා' ආපදා තත්ත්වය හමුවේ සාමාන්‍ය ජන ජීවිතය කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන ප්‍රධාන සේවා රැසක් "අත්‍යාවශ්‍ය සේවාවන්" බවට පත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නිකුත් කර තිබූ අතිවිශේෂ ගැසට් නිවේදනය තවදුරටත් දීර්ඝ කිරීමට කටයුතු කර තිබෙනවා.
1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරුණු බලතල අනුව මෙම නිවේදනය නිකුත් කර ඇති අතර, එය ජනාධිපති ලේකම් ආචාර්ය එන්. එස්. කුමානායකගේ අත්සනින් යුතුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මෙම නියෝගය අනුව රාජ්‍ය සංස්ථා, රජයේ දෙපාර්තමේන්තු, පළාත් පාලන ආයතන හා සමුපකාර සමිති මඟින් සපයනු ලබන පහත සඳහන් ප්‍රධාන ක්ෂේත්‍ර රැසක සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ගණයට ඇතුළත් කර තිබෙනවා.
බලශක්තිය හා ඉන්ධන: විදුලි බලය සැපයීම, ඛනිජ තෙල් නිෂ්පාදන හා ගෑස් ඇතුළු ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම.
සෞඛ්‍ය හා ජීවිත ආරක්ෂාව: රෝහල්, සාත්තු නිවාස හා බෙහෙත් ශාලාවල රෝගී සත්කාරක සේවා මෙන්ම ගිලන් රථ සේවාවන්.
ප්‍රවාහන හා යටිතල පහසුකම්: පොදු ගමනාගමන සේවා, මංමාවත්, පාලම්, දුම්රිය මාර්ග, වරාය හා ගුවන් තොටුපළවල් නඩත්තු කිරීම.
මහජන උපයෝගිතා: ජලය සැපයීම, ජලාපවහනය, වාරිමාර්ග සේවා, කසළ ශෝධනය හා කුණු ඉවත් කිරීම ඇතුළු පළාත් පාලන ආයතන සේවා.
ආහාර, සන්නිවේදන හා මූල්‍ය: ආහාර හා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීම, දුරකථන, විදුලි සංදේශ, මාධ්‍ය සේවා, ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු සියලුම රාජ්‍ය බැංකු හා රක්ෂණ සේවා.
රාජ්‍ය පාලන හා ක්ෂේත්‍ර නිලධාරීන්: සියලුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන්, කෘෂි පර්යේෂණ සහකාර නිලධාරීන් හා 'ක්ලීන් ශ්‍රී ලංකා' කේන්ද්‍රීය කණ්ඩායම් නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර මට්ටමේ නිලධාරීන්ගේ සියලුම සේවා.
මෙම සේවාවන්ට බාධා වන අයුරින් කටයුතු කිරීම නීතිවිරෝධී වන අතර, ආපදා අවස්ථාවකදී මහජනතාව මුහුණ දෙන අපහසුතා මඟහරවා ගැනීම වෙනුවෙන් රජය මෙම දැඩි තීරණය ගෙන තිබෙනවා.
එම ගැසට් නිවේදනය මෙතැනින් බලන්න (Click)
Share This Article