තෙමඟුල සිහිකරමින් බන්ධනාගාර රැඳවියන්ගෙන් මනරම් වෙසක් කලාපයක්.. කූඩු ප්‍රදර්ශනය හා දන්සල් ගැන විස්තර මෙන්න.
වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් දිවයිනේ සියලුම බන්ධනාගාර ආයතන කේන්ද්‍ර කරගනිමින් විශේෂ ආගමික හා සංස්කෘතික වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බව බන්ධනාගාර මූලස්ථානය පවසනවා.
රැඳවියන්ගේ ආධ්‍යාත්මික සුවය හා සංහිඳියාව අරමුණු කරගනිමින් බන්ධනාගාර ආයතන තුළ බැති ගී ප්‍රසංග, වෙසක් සැරසිලි, විශේෂ ආගමික වත්පිළිවෙත් හා දන්සැල් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ඒ.සී. ගජනායක සඳහන් කළා.
මෙවර වෙසක් උත්සවයේ සුවිශේෂී අංගයක් ලෙස බන්ධනාගාර නිලධාරීන්ගේ සහ බන්ධනාගාර ගත රැඳවියන්ගේ සාමූහික දායකත්වයෙන් මනරම් වෙසක් කූඩු ප්‍රදර්ශනයක් නිර්මාණය කර තිබෙනවා.
මෙම වෙසක් කූඩු ප්‍රදර්ශනය මැයි මස 30 හා 31 යන දෙදින පුරා රාත්‍රී කාලයේදී බන්ධනාගාර මූලස්ථානය ඉදිරිපිටදී මහජනතාව වෙනුවෙන් ප්‍රදර්ශනය කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.
මෙම වෙසක් කලාපයට සමගාමීව විශේෂ දන්සැල් දෙකක්ද පැවැත්වීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, බන්ධනාගාර මූලස්ථානය මඟින් සංවිධානය කරනු ලබන බෙලිමල් දන්සල මැයි මස 30 වන දින පස්වරු 07.00 ට බන්ධනාගාර මූලස්ථානය ඉදිරිපිටදී පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම වැලිකඩ බන්ධනාගාරය, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය හා හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකා ඒකකයේ (ETRF) සහයෝගය ඇතිව නව මැගසින් බන්ධනාගාරය මඟින් සංවිධානය කරනු ලබන මඤ්ඤොක්කා දන්සල මැයි මස 31 වන දින පස්වරු 07.00 ට නව මැගසින් බන්ධනාගාරය අසලදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.