දකුණු කළුතර පල්ලිය පාරේ වෙඩි තැබීමක්.. සැකකරුවන් සොයා පුළුල් පරීක්ෂණ..
දකුණු කළුතර වෙට්ටුමකඩ, පල්ලිය පාර ප්‍රදේශයේදී අද දහවල් කාලයේ බරපතළ ගණයේ වෙඩි තැබීමක් සිදුවෙලා තිබෙනවා.
මෙම වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
පොලිස් මූලාශ්‍ර සපයන තොරතුරුවලට අනුව, මෝටර් රථයකින් පැමිණි සන්නද්ධ පිරිසක් විසින් මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරු පැදියක් ඉලක්ක කරගෙන මෙම වෙඩි තැබීම සිදු කර තිබෙනවා.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ යතුරුපැදිකරු මියගොස් ඇති අතර, සැකකරුවන් වෙඩි තැබීමෙන් අනතුරුව එම ස්ථානයෙන් පළා යාමට කටයුතු කළා.
ඝාතනයට ලක් වූ පුද්ගලයා කවුරුන්ද යන්න හා මෙම වෙඩි තැබීමට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.
පවතින නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට කටයුතු කර ඇති අතර, දකුණු කළුතර පොලිසිය සහ සහන සේවා කණ්ඩායම් මේ වන විටත් සිද්ධිය සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටිනවා.
සැකකරුවන් සොයා කොළඹ හා කළුතර අපරාධ විමර්ශන අංශ පුළුල් පරීක්ෂණ පවත්වමින් සිටිනවා.