පාකිස්ථානයේ දුම්රිය මාර්ගයක සිදුවූ මහා විනාශය.. රහස් සංවිධානයක් වගකීම බාර ගනී.
පාකිස්ථානයේ නිරිතදිග ක්වෙටා (Quetta) නගරයේ මගීන් රැගත් දුම්රියක් ගමන් කරමින් තිබූ දුම්රිය මාර්ගයක් අසල අද (24) සිදුවූ ප්‍රබල බෝම්බ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම දරුණු පිපිරීමෙන් තවත් පුද්ගලයින් 82කට අධික පිරිසක් බරපතළ තුවාල ලබා ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළා.
බෝම්බය පිපිරීමේ ප්‍රබලත්වය හේතුවෙන් දුම්රිය මාර්ගයට හා දුම්රිය මැදිරිවලට දැඩි හානි සිදුව තිබෙනවා.
තුවාල ලැබූවන් වහාම ප්‍රදේශයේ රෝහල් වෙත ඇතුළත් කිරීමට පියවර ගත් අතර, ඉන් කිහිපදෙනෙකුගේ තත්ත්වය තවමත් බරපතළ මට්ටමක පවතින බව වාර්තා වුණා.
වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය තුවාලකරුවන්ගේ ජීවිත බේරා ගැනීමට මේ වන විටත් දැඩි උත්සාහයක නිරත වෙමින් සිටිනවා.
මෙම ප්‍රහාරයෙන් පසු ප්‍රාන්ත ස්වදේශ කටයුතු අමාත්‍යවරයාගේ මාධ්‍ය ප්‍රකාශක බබාර් යූසුෆ්සායි විශේෂ ප්‍රකාශයක් කළා.
ක්වෙටා නගරයේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන සියලුම ආරක්ෂක, බුද්ධි හා සහන සේවා ආයතන වහාම ක්‍රියාත්මක වන පරිදි උපරිම ආරක්ෂිත මට්ටමක් වෙත යොමු කර ඇති බව ඔහු සඳහන් කළා.
මේ අතර, බෝම්බ පිපිරීමේ වගකීම තහනම් කරන ලද සන්නද්ධ කණ්ඩායමක් වන "බලොචිස්ථාන විමුක්ති හමුදාව" (BLA) විසින් බාරගෙන ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබෙනවා.
ප්‍රහාරය සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන පවත්වමින් සිටිනවා.
මූලාශ්‍රය : රොයිටර් පුවත් සේවය
