හන්තාන සඳගිරි සෑයේ පූජා භාණ්ඩ වලට සිදුවූ දේ මෙන්න.. පොලිසියෙන් පුළුල් පරීක්ෂණ..
දෙස් විදෙස් බෞද්ධ බැතිමතුන්ගේ නොමඳ ගෞරවාදරයට පාත්‍ර වූ මහනුවර, හන්තාන සඳගිරි සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ගර්භයට පිවිසෙන දොරටු ද්විත්වය බිඳ, එහි තැන්පත් කර තිබූ රන්මාල හා මැණික් ඇතුළු පූජා භාණ්ඩ රැසක් සොරකම් කිරීමේ සිදුවීමක් වාර්තා වනවා.
මේ සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලිසිය මේ වන විටත් පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
අද (23) අලුයම් කාලයේදී මෙම සොරකම සිදුව ඇති බව සඳගිරි සෑය විහාරාධිපති පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක හිමියෝ සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ විහාරාධිපති හිමියන් ප්‍රකාශ කළේ විහාරයේ සේවය කරන පිරිස උදෑසනම තමන් වහන්සේ වෙත පැමිණ චෛත්‍යය ගර්භයට පිවිසෙන යකඩ දොරටු දෙකම කඩා දමා ඇති බව දැනුම් දුන් බව සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ විහාරාධිපති හිමියන් ප්‍රකාශ කළා.
ඒ මොහොතේ සිට කිසිම කෙනෙකුට චෛත්‍යය ගර්භය තුළට ඇතුළු වීමට ඉඩ නොතබා, උන්වහන්සේ මේ සම්බන්ධයෙන් වහාම පොලිස්පතිතුමා දැනුවත් කිරීමට කටයුතු කර තිබෙනවා.
ඉන් අනතුරුව ඉතා සුළු මොහොතක් තුළ මහනුවර මූලස්ථාන පොලිසියේ නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කළා.
චෛත්‍ය ගර්භයේ තැන්පත් කොට ඇති රන් කරඬුවට පළඳවා තිබූ මැණික් සහිත රන්මාල ඇතුළු පූජා භාණ්ඩ ප්‍රමාණයක් අතුරුදහන්ව ඇති බව එහිදී හෙළි වී තිබෙනවා.
නමුත් වාසනාවකට මෙන් රන් කරඬුවට, අනෙකුත් වටිනා පූජා භාණ්ඩවලට හෝ එහි වැඩසිටින ධාතූන් වහන්සේලාට කිසිදු හානියක් සිදුව නැහැ.
චෛත්‍යයට හෝ වෙනත් කිසිවකට හානි කර නොමැති අතර, පොලිසිය ක්ෂණිකවම ක්‍රියාත්මක වී පරීක්ෂණ පවත්වමින් සිටිනවා.
මේ වන විටත් සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙළි කරගෙන ඇති බව විහාරාධිපති හිමියන් වැඩිදුරටත් සඳහන් කළා.