වෙළඳසැලේ සිටි බිරිඳට ගිනි තැබූ සැමියා පොලිසියට කොටු වෙයි.. අපරාධයට හේතුව මෙන්න.
පසුගිය මැයි 18 වැනිදා සවස මුල්ලේරියාව, අංගොඩ ප්‍රදේශයේදී කාන්තාවකට පෙට්‍රල් දමා ගිනි තබා පළාගිය ඇයගේ නීත්‍යානුකූල ස්වාමිපුරුෂයා ඊයේ (22) මුල්ලේරියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට පත් සැකකරු අංගොඩ, මීගහවත්ත ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි ත්‍රීරෝද රථ රියදුරෙකු වන අතර, ඔහු මීට පෙර කිසිදු අපරාධ චෝදනාවකට ලක් නොවූ අයෙකු බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති බව අප වාර්තාකරු ප්‍රකාශ කළා.
සිය බිරිඳ නිවසින් බැහැරව වෙනත් පුද්ගලයන් ඇසුරු කිරීම සම්බන්ධයෙන් පැවති පවුල් ආරවුලක් හා තදබල සැකයක් හේතුවෙන් තමන් මෙම අපරාධය සිදුකළ බව සැකකරු පාපොච්චාරණය කර ඇති බවත්, ගිනි තැබීමෙන් පසු තමන්ද සියදිවි නසා ගැනීමට සැලසුම් කර තිබූ බව ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.
මැයි 18 වැනිදා සවස 5.32 ට පමණ අංගොඩ ප්‍රදේශයේ වෙළඳසලක සේවය කරමින් සිටි මෙම කාන්තාව වෙත ත්‍රීරෝද රථයකින් පැමිණි සැකකරු, ඇයගේ හිසට පෙට්‍රල් දමා ගිනි තබා පළාගොස් තිබෙනවා.
සැකකරු පළායන ආකාරය අසල තිබූ CCTV කැමරාවලද සටහන්ව තිබූ අතර, ඔහුගෙන් ලද ප්‍රකාශ මත අපරාධය සඳහා භාවිත කළ ත්‍රීරෝද රථය හා පෙට්‍රල් බෝතලයක්ද පොලිස් භාරයට ගෙන ඇති බව අප වාර්තාකරු ප්‍රකාශ කළා.
ප්‍රහාරයෙන් බරපතළ පිළිස්සුම් තුවාල ලැබූ කාන්තාව මේ වන විටත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ (ICU) ප්‍රතිකාර ලබන අතර, ඇයගේ මුහුණ හා පපුව ප්‍රදේශයට බරපතළ හානි සිදුවීම හේතුවෙන් සෞඛ්‍ය තත්ත්වය අසාධ්‍ය මට්ටමක පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.
කෙසේවෙතත්, මේ වන විටත් ඇයගෙන් කටඋත්තරයක් ලබා ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.