අයහපත් කාලගුණය නිසා පාසල් සිසුන්ට හදිසි නිවාඩුවක්.. අධ්‍යාපන කලාප දෙකක පාසල් කිහිපයක් වැසෙයි..
දිවයින පුරා පවතින අධික වැසි සහිත අයහපත් කාලගුණික වටපිටාව හේතුවෙන් සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් දෙහිඕවිට අධ්‍යාපන කලාපයට සහ අවිස්සාවේල්ල - රුවන්වැල්ල අධ්‍යාපන කලාපයට අයත් රජයේ පාසල් 7ක් අද (22) දිනයේදී තාවකාලිකව වසා දැමීමට අදාළ කලාප අධ්‍යාපන කාර්යාල පියවර ගෙන තිබෙනවා.
ප්‍රදේශ රැසකට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මාර්ග අවහිරතා හා ගංවතුර අවදානම් තත්ත්වයන් මතු වීම සැලකිල්ලට ගනිමින්, සිසුන්ට සහ ගුරුවරුන්ට පාසල් වෙත පැමිණීමේදී සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීම සඳහා මෙම තීරණය ගත් බවයි බලධාරීන් පවසනවා.
මේ අනුව, දෙහිඕවිට අධ්‍යාපන කලාපයට අයත් ඇපලපිටිය ප්‍රාථමික විද්‍යාලය, පහල මානියංගම ප්‍රාථමික විද්‍යාලය, තලපිටිය ප්‍රාථමික විද්‍යාලය, අටලුගම ප්‍රාථමික විද්‍යාලය හා රුවන්වැල්ල අධ්‍යාපන කලාපයට අයත් මහකන්ද කනිෂ්ඨ විද්‍යාලය, අමිතිරිගල මහ විද්‍යාලය හා ශ්‍රී වික්‍රම කනිෂ්ඨ විද්‍යාලය මෙලෙස වසා දැමෙන බව දෙහිඕවිට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එච්.එල්. හරිස්චන්ද්‍ර හිරු ප්‍රවෘත්ති වෙත කියා සිටියා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ඉදිරි පැය කිහිපය තුළ ද සබරගමුව පළාතට සහ බස්නාහිර පළාත්වලට තද වැසි අපේක්ෂා කරන බැවින්, ඉදිරි දිනවලදී පාසල් පැවැත්වීම පිළිබඳව තත්ත්වය නිරීක්ෂණය කරමින් කලාප බලධාරීන් විසින් තීරණ ගනු ලබන බව තහවුරු කර තිබෙනවා.
එබැවින් අදාළ ප්‍රදේශවල වෙසෙන දෙමාපියන් තම දරුවන් බාහිර ජලාශ, විවෘත ස්ථාන හෝ නායයෑම් අවදානම් කලාප අසලට යැවීමෙන් වළකින ලෙස ද ආපදා සහන සේවා අංශ ඉල්ලා සිටිනවා.