වාහන අංක තහඩු ලක්ෂයක් ගොඩගැසිලා.. ජුනි 30ට පෙර ලබාගන්නැයි වාහන හිමිකරුවන්ට හදිසි දැනුම්දීමක්.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් 2023 සහ 2024 වර්ෂයන් තුළ මුද්‍රණය කළ, එහෙත් වාහන හිමිකරුවන් විසින් මෙතෙක් රැගෙන ගොස් නොමැති වාහන අංක තහඩු ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් දෙපාර්තමේන්තු පරිශ්‍රයන්හි ගොඩගැසී ඇති බව එම දෙපාර්තමේන්තුව පවසනවා.
මෙම අංක තහඩු ලබන ජුනි 30 වැනිදාට පෙර කඩිනමින් ලබාගන්නා ලෙසයි වාහන හිමිකරුවන්ගෙන් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.
කොළඹ දිස්ත්‍රික්කයට අදාළව නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ මෙන්ම, දිවයින පුරා පිහිටි අනෙකුත් දිස්ත්‍රික් කාර්යාලවලද මේ අංක තහඩු පවතින බව සඳහන් වුණා.
නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය වෙතින් ලබාගත යුතු වාහන අංක තහඩු සඳහා අදාළ කාර්යාලය වෙත පැමිණිය යුතු අතර අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ශාඛා වෙත පැමිණ සෙසු අංක තහඩු ලබාගැනීමේ හැකියාවක් තිබෙනවා.
මේ පිළිබඳව වැඩිදුර තොරතුරු 011-2033333 දුරකථන අංකය ඔස්සේ දෙපාර්තමේන්තුවේ 'වාහන අංක තහඩු අංශය' අමතා ලබා ගත හැකි බව එම දෙපාර්තමේන්තුව දැනුම් දුන්නා.