ජාතික කලා භවනේ පෞරාණික චිත්‍ර 42ක් අතුරුදන්.. පාර්ලිමේන්තුවම කැළඹූ සංස්කෘතික අමාත්‍යවරයාගේ ප්‍රකාශය.
ශ්‍රී ලංකාවේ පෞරාණික කලා උරුමයන්ට ලැදි හා ඉතිහාසය අගය කරන කාගේත් දැඩි අවධානය මෙන්ම කනගාටුව යොමුවිය යුතු අතිශය ආන්දෝලනාත්මක පුවතක් අද (21) පාර්ලිමේන්තුවේදී අනාවරණය කර තිබෙනවා.
ඒ අනුව කොළඹ ජාතික කලා භවනේ තැන්පත් කර තිබූ අතිශය වටිනා පෞරාණික චිත්‍ර 42ක් අස්ථානගතවීමේ බරපතළ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට විශේෂ විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතිනවා.
බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි අද දින පාර්ලිමේන්තුවේදී මේ බව නිල වශයෙන් ප්‍රකාශ කළා.
පාර්ලිමේන්තුවේදී අද පැවැත්වුණු ප්‍රශ්න විමසීමේ වටයේදී, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් විසින් ජාතික කලා භවනේ පවතින වත්කම් සහ කලාකෘතිවල ආරක්ෂාව සම්බන්ධයෙන් සුවිශේෂී ප්‍රශ්නයක් යොමු කර තිබුණා.
මීට පෙර 2015 වර්ෂය සඳහා ඉදිරිපත් කර තිබූ නිල භාණ්ඩ සමීක්ෂණ වාර්තාවකින් (Inventory Report) මේ පෞරාණික චිත්‍ර 42ක් අස්ථානගතවීමේ සිදුවීම මුලින්ම අනාවරණය වී ඇති බව එම ප්‍රශ්නයට සෘජුව පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියා.
අදාළ පෞරාණික චිත්‍ර අස්ථානගතවීම පිටුපස සිටින පුද්ගලයන් කවුද, ඒවාට සිදු වූයේ කුමක්ද හා මේ සඳහා වගකිවයුතු නිලධාරීන් කවුද යන්න සෙවීම සඳහා විධිමත් මට්ටමේ පුළුල් විමර්ශනයක් වත්මන් අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක කිරීමට පියවර ගත් බවද අමාත්‍යවරයා තහවුරු කළා.