ප්‍රේම යෝජනාව ප්‍රතික්ෂේප කළ නිසා ජීවිතයෙන් වන්දි ගෙවූ ටික්ටොක් තරුව.. ඇයගේ ඝාතකයාට සිදුවූ දේ මෙන්න..
පාකිස්තානයේ ජනප්‍රිය යොවුන් ටික්ටොක් (TikTok) තරුවක් වූ 17 හැවිරිදි සනා යූසුෆ් (Sana Yousaf) ඝාතනය කළ පුද්ගලයාට මරණ දණ්ඩනය නියම කර තිබෙනවා.
ඉස්ලාමාබාද් අධිකරණයක් විසින් මෙම තීන්දුව ලබා දී ඇත්තේ පසුගිය වසරේ සිදුවූ මෙම බිහිසුණු අපරාධය සම්බන්ධයෙන්.
23 හැවිරිදි උමර් හයාත් (Umar Hayat) නම් පුද්ගලයා, සනා යූසුෆ් හට තමන් සමඟ ප්‍රේම සම්බන්ධතාවක් ආරම්භ කරන ලෙස බලපෑම් කළද ඇය එම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමෙන් පසු උමර් උරණ වී තිබෙනවා.
පසුගිය වසරේ ජුනි මාසයේදී සනාගේ උපන්දිනය දා ඇය හමුවීමට යැයි පවසමින් ඇගේ නිවසට බලහත්කාරයෙන් ඇතුළු වූ සැකකරු, ඇය සමඟ ඇතිවූ බහින්බස්වීමකින් අනතුරුව ඇයව වෙඩි තබා ඝාතනය කර තිබුණු බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
සැකකරු තමා සිදුකළ අපරාධය ජූලි මාසයේදී අධිකරණය හමුවේ පාපොච්චාරණය කරනු ලැබුවා.
ඒ අනුව වරදකරු වූ හයාත් හට මරණ දණ්ඩනය නියම කළ අධිකරණය, වින්දිත තරුණියගේ පවුලට ඇමරිකානු ඩොලර් 9,000කට ආසන්න වන්දියක් ගෙවන ලෙස ද නියෝග කර තිබෙනවා.
මෙම තීන්දුව පිළිබඳව විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සනාගේ පියා වන සයිඩ් යූසුෆ් හසන් ප්‍රකාශ කළේ, මෙය සමාජයේ මෙවැනි අපරාධවලට පෙළඹෙන පුද්ගලයින්ට කදිම පාඩමක් වන බවයි.
සනා යූසුෆ් ඝාතනයත් සමඟ පාකිස්තානය පුරා දැඩි උද්ඝෝෂණ සහ විරෝධතා රැල්ලක් මතුව ඇති බවයි වාර්තා වෙන්නේ.
සනා ටික්ටොක් සහ ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ මිලියනයකට අධික අනුගාමිකයින් පිරිසක් සිටි ජනප්‍රිය චරිතයක් වූ නමුත්, ඇගේ මරණයෙන් පසුව ද සයිබර් අවකාශය තුළ ඇය පිළිබඳව විවිධ විවේචන එල්ල වී තිබෙනවා.
සමාජ ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ මෙය පාකිස්තානයේ පවතින "පිතෘමූලික" (patriarchal) සහ "කාන්තා ද්වේෂය" (misogyny) පදනම් කරගත් සමාජ මානසිකත්වයේ ප්‍රතිඵලයක් බවයි.
අන්තර්ජාලය තුළ කාන්තා නිර්මාණකරුවන් සඳහා පවතින තර්ජනාත්මක වාතාවරණය මෙම සිදුවීම හරහා යළිත් වරක් තහවුරු වී ඇති බව 'බෝලෝ භී' (Bolo Bhi) නම් ඩිජිටල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයේ අධ්‍යක්ෂ උසාමා ඛිල්ජි පවසනවා.
පාකිස්තාන පොලීසිය CCTV කැමරා 113ක් ඇතුළු තාක්ෂණික සාක්ෂි රැසක් උපයෝගී කරගනිමින් පරීක්ෂණ පවත්වා මෙම සැකකරු අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පැමිණවීමට කටයුතු කරනු ලැබුව්
මුලාශ්‍රය : BBC