තිරප්පනේ මවගේ අබිරහස් මරණයේ සුලමුල එළියට.. දේපළ නිසා බාල දියණිය කළ අදහාගත නොහැකි අපරාධය මෙන්න..
Wednesday, 20 May 2026 - 15:50 | Views - 64

දෙමව්පියන් තම දරුවන් වෙනුවෙන් සියලු දේ හැරදා විදෙස් ගත වන්නේ තම පවුලේ දරුවන්ගේ ජීවිත ආලෝකමත් කිරීමටයි.
වසර 24ක වැනි දීර්ඝ කාලයක් විදේශගතව ගෘහ සේවයේ නිරත වූ අනුරාධපුර තිරප්පනේ, ඇතුන්ගම මංසන්ධියට ආසන්නව පදිංචිව සිටි 65 හැවිරිදි පී. පද්මලතාත් එවන් මවක්.. නමුත් ඇයට මුහුණ දෙන්න සිදුවුණේ ඉතා අවාසනාවන්ත ඉරණමකටයි.
ඇය උපයාගත් මුදල් හා රන් භාණ්ඩ කොල්ලකා නැවත විදේශගත වීමේ අරමුණින්, ඇය විසින්ම මෙලොවට දායාද කළ බාල දියණිය විසින් තම අනියම් සැමියා සමඟ එක්ව මේ මව සූක්ෂම ලෙස ඝාතනය කර ඇති බව තිරප්පනේ පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබෙනවා.
පසුගිය මැයි 12 වැනිදා පී. පද්මලතා තම නිවසේ නිදන කාමරයේ ඇඳ මතදීම අබිරහස් ලෙස මියගොස් සිටියා.
මව අසනීප තත්ත්වයෙන් නිදියහනේදීම මියගොස් ඇති බව ඒ වනවිට ඇය සමඟ නිවසේ ජීවත් වූ බාල දියණිය පොලිසියට දැනුම් දී තිබෙනවා.
නමුත් මේ මරණය පිළිබඳව සැක සිතූ තිරප්පනේ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් පුළුල් විමර්ශනයක් ආරම්භ කළා.
එහිදී දියණිය, ඇයගේ අනියම් පෙම්වතා හා පවුලේ ඥාතීන් ලබාදුන් ප්‍රකාශ අන්‍යෝන්‍ය වශයෙන් පරස්පර වීම නිසා මෙය සූක්ෂමව සිදුකළ ඝාතනයක් බවට පොලිසිය තහවුරු කරගත්තා.
ප්‍රදේශයේ CCTV කැමරා පද්ධති හා සාක්ෂි උපයෝගී කරගනිමින් පොලිසිය සිදුකළ තීව්‍ර විමර්ශනවලින් අනතුරුව, මියගිය කාන්තාවගේ අවසන් කටයුතු තිරප්පනේ පොදු සුසාන භූමියේදී සිදු කිරීමට දේහය රැගෙන යනවාත් සමඟම, පසුගිය 15 වැනිදා සැකකාර දියණිය (32), ඇයගේ අනියම් පෙම්වතා (25) සහ ඔවුන්ට සැඟවී සිටීමට නවාතැන් දුන් මියගිය කාන්තාවගේ සහෝදරියක (පුංචිඅම්මා) පොලිස් අත්අඩංගුවට පත් වුණා.
පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වූ පරිදි, මියගිය මව විදේශගතව සිටි සමයේ බාල දියණිය විවාහ වී පසුව මවගේ මාර්ගයෙන්ම තම සැමියා සමඟ වසර 14ක් විදේශගතව සේවය කර තිබෙනවා.
පසුව එම විවාහය අසාර්ථක වීමෙන් පසු මෙරටට පැමිණි දියණිය, කුරුණෑගල ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචි යුද හමුදාවෙන් පලා ගිය 25 හැවිරිදි සෙබළෙකු සමඟ අනියම් පෙම් සබඳතාවක් අරඹා තිබෙනවා.
පසුව මේ මව විසින් දියණියට හා ඇයගේ අනියම් සැමියාට තිරප්පනේ පිහිටි තම නිවසේ ජීවත් වීමට ඇරැයුම් කර තිබෙනවා.
නිවසේ තාප්පය ඉදිකිරීමේ කටයුතුවලට ද මේ තරුණයා උදව් වී ඇති අතර, එහිදී ඔවුන් තිදෙනා අතර නිතර ආරවුල් හටගෙන තිබෙනවා.
මැයි 11 වැනිදා මව විසින් මේ තරුණයාට නිවසින් පිටව යන ලෙස පැවසීමෙන් පසු, ඔහු හා පසුව දියණියද නිවසින් බැහැරව ගොස් තිබෙනවා.
කෙසේවෙතත්, මැයි 12 වැනිදා රාත්‍රියේ අනියම් සැමියා මත්පැන් පානය කර පැමිණ දියණිය ද සමඟ එක්ව නිවසේ තනිව සිටි මව සූක්ෂම ලෙස ඝාතනය කර තිබෙනවා.
ඝාතනයෙන් පසු මව සතු වූ රුපියල් ලක්ෂ 10ක මුදලක් හා රන් භාණ්ඩ කොල්ලකා මොවුන් දඹුල්ල ප්‍රදේශයේ හෝටලයක සැඟව සිට ඇති අතර, එම මුදල්වලින් නැවත විදෙස්ගත වීමට සැලසුම් කර තිබූ බව සැකකාර යුවළ පොලිසිය ඉදිරියේ පාපොච්චාරණය කළා.
මව සතු දේපළ කොල්ලකා ඇයව ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දියණිය ඇතුළු සැකකරුවන් තිදෙනා අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.
තිරප්පනේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී.ඩී.එස්.ආර්.කේ. ජයතිලක ඇතුළු නිලධාරී කණ්ඩායමක් මේ පිළිබඳව තවදුරටත් විමර්ශන සිදු කරනවා.
Share This Article