වසරකට අලුත් පිළිකා රෝගීන් 18,000ක්.. මහරගම අපේක්ෂා රෝහලෙන් ඇසෙන සෝචනීය කතාවක් මෙන්න.
ශ්‍රී ලංකාව තුළ වසරකට අලුතින් පිළිකා රෝගීන් 15,000ත් 18,000ත් අතර අතිවිශාල ප්‍රමාණයක් සමාජයට අලුතින් එක්වන බව මහරගම අපේක්ෂා රෝහලේ විශේෂඥ වෛද්‍ය බුද්ධික සෝමවර්ධන අනාවරණය කරලා තිබෙනවා.
ඉන් 2000ක් පමණම රුධිරගත පිළිකා (Leukemia) රෝගීන් බවයි ඔහු පෙන්වා දුන්නා.
තලවතුගොඩ ප්‍රදේශයේදී පැවැත්වුණු "ඇටමිදුළු බද්ධ කිරීමේ සැත්කමින් පසු සුවවූවන්ගේ එකමුතුව" විසින් සංවිධානය කළ විශේෂ දැනුවත් කිරීමේ වැඩමුළුවකදී වෛද්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
රුධිරගත පිළිකා රෝගීන් සඳහා සිදුකරනු ලබන ඇටමිදුළු බද්ධ කිරීමේ සැත්කම් (Bone Marrow Transplant) වර්තමානයේ ඉතා සාර්ථක මට්ටමක පවතින බව වෛද්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.
කෙසේවෙතත්, සැත්කමෙන් පසුව වෛද්‍ය උපදෙස් නිසියාකාරව පිළිපදිමින් උපරිම ලෙස පරිස්සම් නොවුණහොත් රෝගීන්ගේ ජීවිතය දැඩි අවදානමකට ලක්විය හැකි බව ද ඔහු අවධාරණය කළා.
මෙරට වෛද්‍ය ක්ෂේත්‍රය මුහුණ දී ඇති බිහිසුණුම ඛේදවාචකය පිළිබඳව ද වෛද්‍ය බුද්ධික සෝමවර්ධන මෙහිදී කරුණු එළිදරව් කර තිබෙනවා.
"රුධිරගත පිළිකා රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට සමස්ත ලංකාවටම ඉන්නේ විශේෂඥ වෛද්‍යවරුන් හතර දෙනයි. මහරගම අපේක්ෂා රෝහලේ ඉන්නේ තුන් දෙනෙක් විතරයි. මේ ක්ෂේත්‍රයේ සිටි අනෙක් විශේෂඥ වෛද්‍යවරුන් හත් අට දෙනෙකුම මේ වන විට ලංකාවෙන් බැහැරව විදේශගත වී අවසන්" යැයි වෛද්‍යවරයා කනගාටුවෙන් යුතුව ප්‍රකාශ කර තිබෙනවා.
පවතින දැඩි වෛද්‍ය හිඟය හා මූල්‍ය අර්බුදය හමුවේ රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී තමන්ට විශාල සීමාවන් පවතින බව වෛද්‍යවරයා පැවසුවා.
ඇට මිදුලු බද්ධ කිරීම වැනි ඉහළ තාක්ෂණික ප්‍රතිකාර සඳහා අතිවිශාල වියදමක් වැය වන බව ඔහු පෙන්වා දුන්නා.
"හැම රෝගියෙකුටම ප්‍රතිකාර සමානව ලබා ගැනීමේ අයිතිවාසිකමක් තිබෙනවා. කොහොම නමුත් හැමෝටම ඒ විදියට ලැබෙනවාද කියන ප්‍රශ්නය තියෙනවා. අද වෙද්දී මුදල් තියෙන අයට සහ නැති අයට දෙයාකාරයකින් තමයි ප්‍රතිකාර ලැබෙන්නේ. ඒ අසමානතාවය කොහොමද නැති කරන්නේ කියන එක ලොකු ප්‍රශ්නයක්."
රජය විසින් බොහෝ පිළිකා ප්‍රතිකාර සහ ඖෂධ වර්ග නොමිලේ ලබාදීමට පියවර ගෙන තිබුණ ද, වත්මන් තත්ත්වය හමුවේ නිදහස් සෞඛ්‍ය සේවාව තුළ මේ සියල්ල තවදුරටත් නොමිලේ දීමට පුළුවන්ද යන්න ගැටලුවක් බව වෛද්‍යවරයා සඳහන් කළා.
ඇතැම් සුවිශේෂී පිළිකා ප්‍රතිකාර සඳහා අවශ්‍ය වන අත්‍යවශ්‍ය ඖෂධ වර්ග ලංකාවේ නොතිබීමත්, ඇතැම් නවීන ප්‍රතිකාර ක්‍රමවේදයන් මෙරට තුළ තවමත් ස්ථාපිත කර නොමැති වීමත් නිසා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ සීමාවන් රැසකට මුහුණ දීමට සිදුව ඇති බව වෛද්‍යවරයා වැඩිදුරටත් තහවුරු කර තිබෙනවා.
ලංකාදීප පුවත්පත ඇසුරින්..