17 වන ජාතික රණවිරු සැමරුම අද ජනපති ප්‍රධානත්වයෙන්.. මෙවර උත්සවයේ සිදුවන විශේෂ වෙනස්කම් මෙන්න.
දේශයේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් ජීවිත පූජා කළ වීරෝදාර රණවිරුවන් අනුස්මරණය කෙරෙන 17 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය අද (19) පස්වරුවේ අභිමානවත් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ජාතික රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වෙන මෙවර නිල සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
මෙවර රණවිරු සැමරුම් උත්සවයේදී වෙනදාට වඩා සුවිශේෂී වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.
මෙවර සැමරුම් උත්සවයේදී රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ හා ආබාධිත තත්ත්වයට පත්වූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ට වැඩි ඉඩකඩක් හා සුවිශේෂී අවස්ථාවක් ලබා දීමට කටයුතු කරන බව රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික බ්‍රිගේඩියර් එස්.බී. කොහොන ප්‍රකාශ කළා.
ජාතික රණවිරු සැමරුම් දිනයට සමගාමීව ශ්‍රී ලංකා යුද, නාවික හා ගුවන් හමුදාවල සාමාජිකයින් 5,289 දෙනෙකු සඳහා විශේෂ නිල උසස්වීම් ලබා දීමටද ඊයේ (18) පියවර ගෙන තිබෙනවා.
ආරක්ෂක අමාත්‍යාංශයේ හා ත්‍රිවිධ හමුදා මූලස්ථානයන්හි නිර්දේශය පරිදි, සේනාධිනායක රෙගුලාසිවලට අනුකූලව මෙම උසස්වීම් පිරිනැමූ බව බලධාරීන් තහවුරු කළා.
ඒ අනුව යුද හමුදාවේ නිලධාරීන් සහ සෙසු නිලයන්, නාවික හමුදාවේ හා ගුවන් හමුදාවේ දක්ෂතා දැක්වූ සාමාජිකයින් රැසකට මෙලෙස තමන්ගේ ඊළඟ නිලයන් වෙත උසස් වීමේ භාග්‍ය හිමිවෙලා තිබෙනවා.
අද පස්වරුවේ පැවැත්වෙන මේ අභිමානවත් උත්සවය හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රණවිරු ස්මාරකය අවට මාර්ග කිහිපයක විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කළා.
උත්සවයට පැමිණෙන සම්භාවනීය අමුත්තන්, රණවිරු පවුල්වල සාමාජිකයින් හා ආරක්ෂක අංශ රථ වාහන ධාවනය වීම හේතුවෙන් ඇති විය හැකි වාහන තදබදය අවම කරගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිස් මූලස්ථානය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.