වනවාසල දුම්රිය ඇණ ගැලවූ පුද්ගලයා හා ඒවා මිලදී ගත් අයත් කොටු වෙයි. තුවාල ලැබූවන්ට වන්දි ගෙවීමටත් සූදානම්..
Sunday, 17 May 2026 - 14:20 | Views - 75

කැලණිය හා වනවාසල අතර ප්‍රදේශයේදී සිදු වූ අංක 507 දරණ දුම්රිය පීලි පැනීමේ මහා අනතුර සම්බන්ධයෙන් වන පරීක්ෂණ ක්‍රියාත්මක කරමින්, දුම්රිය මාර්ගයේ කොටස් හා ඇණ ගලවා සොරකම් කිරීමේ සිද්ධියට අදාළව ඒවා මිලදී ගත් පුද්ගලයාද අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.
අද (17) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී බස්නාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ මේ බව නිල වශයෙන් සඳහන් කළා.
මීට පෙර, දුම්රිය මාර්ගයේ ඇණ ගැලවූ ප්‍රධාන සැකකරු ද ඊයේ (16) දිනයේදී අත්අඩංගුවට ගත් අතර, සැකකරුවන් දෙදෙනාම අද දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව පවතිනවා.
මේ අතර, වනවාසල ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීමෙන් තුවාල ලැබූ මගීන් 6 දෙනාගෙන් තිදෙනෙකු මේ වනවිට සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති අතර තවත් තිදෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ ප්‍රකාශ කළා.
රෝහල්ගතව සිටින පිරිස අතර කාන්තාවක් සිටින බව ප්‍රවාහන අමාත්‍යංශයේ අද (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නා.
දුම්රිය පීලි පැනීමත් සමඟ මෝටර් රථයක් සහ දුම්රිය අතරට වැටීමෙන් එක් අයෙකුගේ අතක සන්ධිවලට හානි සිදුවී ඇති අතර, අනෙක් කාන්තාවගේ බෙල්ල හැරවීමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙනවා.
මගීන් කලබලයෙන් දුම්රියෙන් ඉවතට යාමට උත්සාහ කිරීමේදී ඇතිවූ තෙරපීම මීට හේතුවන්නට ඇති බව ඔහු විශ්වාස කරනවා.
දුම්රිය අනතුරට ලක්වූ මගීන් වෙනුවෙන් කැබිනට් මණ්ඩලය අනුමත කළ නව වන්දි ක්‍රමවේදය යටතේ කටයුතු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සූදානම් වන බව ගමනාගමන අධිකාරීවරයා අනාවරණය කළා.
පෙර පැවති ක්‍රමය අනුව මියයාමකදී හෝ සදාකාලික අකර්මණ්‍ය වීමකදී ගෙවූ රුපියල් 105,000ක මුදල, මේ වන විට රුපියල් ලක්ෂ 10 දක්වා ඉහළ දමා තිබෙනවා.
එමෙන්ම රෝහල්ගතව සිටින කාලය වෙනුවෙන් පළමු සතිය සඳහා දිනකට රුපියල් 2000 බැගින් ද, එතැන් සිට ඉදිරියට රුපියල් 50,000ක උපරිමයකට යටත්ව ද වන්දි ගෙවීමට නව ක්‍රමවේද සකසා ඇති අතර, රෝග විනිශ්චය පත් (Diagnosis Cards) පරීක්ෂා කර කඩිනමින් මෙම වන්දි මුදල් පිරිනමන බව ඔහු සහතික කළා.
අනතුර සිදුවූ ස්ථානයේ සියලුම ප්‍රතිසංස්කරණ කටයුතු අද (17) සවස් වන විට සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට දුම්රිය සේවකයින් කටයුතු කර තිබෙනවා.
ඒ අනුව හෙටින් (18) ආරම්භ වන නව සතියේ සේවා දිනයන්හිදී සාමාන්‍ය කාලසටහනට අනුව දුම්රිය ධාවන කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් තහවුරු කළා.
Share This Article