වනවාසලදී දුම්රියක් පීලි පැන පෙරළෙයි.. ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයටත් දැඩි බාධා..
ප්‍රධාන දුම්රිය මාර්ගයේ කැළණිය හා වනවාසල දුම්රිය ස්ථාන අතරදී අද (16) පෙරවරුවේ දුම්රියක් පීලි පැනීමකට ලක්වීමෙන් දුම්රිය ධාවන කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබෙනවා.
පොල්ගහවෙල සිට දකුණු කළුතර බලා ධාවනය වූ අංක 507 දරණ ශීඝ්‍රගාමී දුම්රිය මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
දුම්රිය පීලි පැනීමත් සමඟ එහි එක් මැදිරියක් සම්පූර්ණයෙන්ම මාර්ගයෙන් ඉවතට පෙරළී ගොස් තිබෙනවා.
මේ දුම්රිය පොල්ගහවෙල සිට පැමිණි පළමු දුම්රිය වන අතර, අනතුර සිදුවන අවස්ථාවේදී පෙරළී ගිය මැදිරිය තුළද විශාල මගීන් පිරිසක් ගමන් කරමින් සිට ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව තහවුරු කළා.
දුම්රිය මැදිරියක් පෙරළී යාම හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ එක් මඟක් සම්පූර්ණයෙන්ම අවහිර වී පවතිනවා.
මේ හේතුවෙන් කොළඹ කොටුව බලා ධාවනය වන හා ධාවනය වීමට නියමිත දුම්රිය කිහිපයක් ප්‍රමාද විය හැකි බවයි වාර්තා වෙන්නේ.
කෙසේවෙතත්, මගී අපහසුතා මඟහැරවීම සඳහා අනෙක් දුම්රිය මාර්ගය (ද්විත්ව මාර්ගයේ අනෙක් පථය) භාවිත කරමින් දුම්රිය ධාවන කටයුතු තාවකාලිකව පවත්වාගෙන යාමට පියවර ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව තවදුරටත් කියා සිටියා.
අනතුරට ලක්වූ දුම්රිය මැදිරිය ඉවත් කර මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දුම්රිය ඉංජිනේරු කණ්ඩායම් මේ වන විටත් එම ස්ථානයට පිටත් කර හැරීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා.