ලංකාවේ එකම භූතාප තෙත්බිම ගැන ඔබ දන්නවාද? එය සුරැකීමට රජයෙන් විශේෂ පියවරක්..
අම්පාර, මහඔය පිහිටි හෙක්ටයාර් 20කට අධික 'කපුරැල්ල' උණුදිය වගුරු බිම විශේෂ ගැසට් නිවේදනයක් මගින් සංරක්ෂණය කිරීමට තීරණය කරලා තිබෙනවා.
ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හඳුනාගත් ප්‍රථම හා එකම භූතාප තෙත්බිම (Geothermal Wetland) ලෙස සැලකෙන අම්පාර, මහඔය පිහිටි කපුරැල්ල උණුදිය තෙත්බිම වහාම සංරක්ෂණය කර ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කරලා තිබෙනවා.
අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය, බෝගමුයාය ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ පිහිටි හෙක්ටයාර් 20.1 කින් යුත් මේ සුවිශේෂී පරිසර පද්ධතිය නිරීක්ෂණය කිරීම සඳහා පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි ඇතුළු පිරිසක් පසුගිය 12 වැනිදා එම ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා.
මෙහි පවතින ජෛව විවිධත්වය හා පාරිසරික වටිනාකම විනාශ වීමට ඉඩ නොදී රැකගැනීම සඳහා කඩිනම් පියවර ගන්නා බව අමාත්‍යවරයා එහිදී අවධාරණය කළා.
සාමාන්‍යයෙන් මෙරට දක්නට ලැබෙන උණුදිය උල්පත් කුඩා පොකුණු ස්වභාවයක් ගත්තද, කපුරැල්ලේදී දක්නට ලැබෙන්නේ පුළුල් ප්‍රදේශයක් පුරා පැතිරුණු උණුදිය වගුරු (Marshy) ස්වභාවයක්.
මේ නිසාම මෙම කලාපය විද්‍යාත්මක මෙන්ම පාරිසරික අතින් අතිශය වැදගත් සහ සංවේදී ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.
අනාගත පරපුර වෙනුවෙන් මෙවැනි දුර්ලභ ස්වභාවික සම්පත් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අදාළ අංශ සමඟ එක්ව විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.