"රටේ අනාගත රැකියා ඉල්ලුම ඔබේ අතේ" දකුණු කොරියානු රැකියා වෙළෙඳපොළ ජයගන්නා ලාංකිකයෝ..
ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට විදේශ රැකියා ක්ෂේත්‍රයේ පවතින ඉල්ලුම තවදුරටත් වර්ධනය කරමින්, මේ වසරේ ජනවාරි සිට අද (13) දක්වා වූ කාලය තුළ ලාංකිකයන් 999 දෙනෙකුට දකුණු කොරියාවේ රැකියා අවස්ථා හිමිව ඇතිබව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කළා.
ලබාගත් දත්තවලට අනුව වැඩිම පිරිසක් යොමුව ඇත්තේ නිෂ්පාදන අංශයටයි. නිෂ්පාදන අංශයෙන් 725ක්ද, ධීවර අංශයෙන් 214ක්ද, ඉදිකිරීම් ක්ෂේත්‍රයෙන් 53ක්ද හා සේවා අංශයෙන් 07ක්ද තෝරාගෙන තිබෙනවා.
මේ සමස්ත පිරිස අතරට පිරිමි පුද්ගලයන් 923 දෙනෙකු හා කාන්තාවන් 76 දෙනෙකු ඇතුළත් වේ.
නිෂ්පාදන අංශයේ රැකියා හිමි කරගත් 926 වැනි කණ්ඩායමට අයත් පුද්ගලයන් 90 දෙනෙකු ඊයේ (12) රාත්‍රියේ UL 470 දරන ගුවන් යානයෙන් කොරියාව බලා පිටත්ව ගියා.
ඔවුන් වෙනුවෙන් ගුවන් ප්‍රවේශපත්‍ර ලබාදීමේ උත්සවය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවැත්විණි.
"රටේ අනාගත රැකියා ඉල්ලුම ඔබේ අතේ" මීළඟ පරම්පරාවේ දහස් ගණනකගේ රැකියා අවස්ථා තීරණය වන්නේ දැනට රැකියාවට යන පිරිසගේ කාර්යක්ෂමතාව හා විනය මත බව කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ කියා තිබෙනවා.
විදේශ රැකියා සඳහා යොමුවන ශ්‍රමිකයන්ට උපරිම පහසුකම් සැලසීමට කාර්යාංශය කැපවී සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.