අල්ලස් කොමිසම හමුවේ හිටපු ජනපති මහින්ද පෙනී සිටියි..
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කළ දැනුම්දීමකට අනුව අද පෙරවරුවේ එහි පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැය දෙකක පමණ ප්‍රකාශයක් ලබා දී අල්ලස් කොමිසමෙන් පිටව ගියා.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර් බස් මිලදී ගැනීම පිළිබඳව එම කොමිසම සිදුකරන විමර්ශනයට අදාළවයි හිටපු ජනපතිවරයා අද දිනයේ කැඳවා තිබුණේ.
මෙම ගනුදෙනුවේදී ඩොලර් මිලියන දෙකක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බවට පසුගියදා සැක කටයුතු ලෙස මියගිය, එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේනට අල්ලස් කොමිසම නඩුවක් ගොනුකර තිබෙනවා.
එහිදී රුපියල් මිලියන 60ක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අවස්ථා තුනකදී ලබාදුන් බවට කපිල චන්ද්‍රසේන ප්‍රකාශ කළේ යැයි අල්ලස් කොමිසම මීට පෙර අධිකරණයට දැනුම් දී තිබුණා.
ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව අල්ලස් කොමිසමට පැමිණෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට දැනුම් දී තිබුණා.
මේ අතර, එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ප්‍රකාශ ලබාගැනීම සඳහා දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර විලී ගමගේ ද ඊයේ අල්ලස් කොමිසම වෙත කැඳවා තිබුණා.
සටහන: හිරු ප්‍රවෘත්ති ඇසුරෙන්..