රතුගල ආදිවාසී පරපුරට අලුත් නායකයෙක්.. නව නායකත්වයට සුදාවන්නිල ඇත්තන්ගේ පුත්‍රයා පත්කරයි.
අභාවප්‍රාප්ත රතුගල ආදිවාසී නායක සුදාවන්නිල ඇත්තන්ගේ අභාවයෙන් පුරප්පාඩු වූ නායකත්වයට, ඔහුගේ පුත් දානිගල මහා බණ්ඩාරලාගේ නිශාන්ත කුමාර ඇත්තන් අද (09) පත්කරනු ලැබුවා.
මියගිය නායකයාගේ දේහය භූමිදානය කිරීමට පෙර පැවැති ආදිවාසී චාරිත්‍ර වාරිත්‍ර මධ්‍යයේ මේ සුවිශේෂී පත්වීම සිදුකර තිබෙනවා.
දඹාන ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් විසින්, මියගිය සුදාවන්නිල ඇත්තන් භාවිතා කළ පාරම්පරික දුන්න හා කෙටේරිය නව නායකයා වෙත භාරදීම මෙහිදී සිදුකරනු ලැබුවා.
ඒ අනුව රතුගල මීළඟ ආදිවාසී නායකයා ලෙස නිශාන්ත කුමාර ඇත්තන්ව නිල වශයෙන් ප්‍රකාශයට පත්කළා.
මියගිය නායකයාගේ අවසන් කටයුතු රතුගලදී ආදිවාසී චාරිත්‍රවලට මුල්තැන දෙමින් අද දින පවත්වනු ලැබුවා.
ඔහුගේ දේහය ඔහු ජීවත් වූ ඉඩමේම තැන්පත් කර ඇති අතර, මේ අවස්ථාවට දඹාන ඇතුළු අනෙකුත් ආදිවාසී ජනපදවල නායකයින් හා ඥාතීන් විශාල පිරිසක් සහභාගීවෙලා තිබෙනවා.