අද රාත්‍රියේ අහස ආලෝකමත් කරන ආලෝක වැස්ස.. පියවි ඇසින් දකින්න පුළුවන් වෙලාව මෙන්න..
අද රාත්‍රියේ අහස දෙස බලන ඔබට, විශ්වයේ අපූර්වතම ආලෝක සන්දර්ශනයක් දැකගැනීමට අවස්ථාව උදාවෙලා තිබෙනවා.
මෙය සාමාන්‍ය උල්කාපාත වර්ෂාවකට වඩා වෙනස් වූ, දශක ගණනාවකට පසු අහසේ ඇඳෙන සොඳුරු සිතුවමක් බඳු 'ඊටා ඇක්වාරිට්ස්' (Eta Aquariids) උල්කාපාත වර්ෂාව ලෙස හඳුන්වාදී තිබෙනවා.
අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර පවසන පරිදි, මේ උල්කාපාත වර්ෂාව වඩාත් ආකර්ෂණීයව දිස්වන්නේ හෙට (06) අලුයම 4:00ත් 5:00ත් අතර කාලයේදී බව වාර්තා කරලා තිබෙනවා.
අලුත් දවසක් උදාවීමට මොහොතකට පෙර සොබාදහම ඔබට ලබාදෙන මේ සුවිශේෂී තෑග්ග නැරඹීමට පියවි ඇස පමණක් ප්‍රමාණවත් බව ඔහු තහවුරු කළා.
මේ උල්කාපාත වර්ෂාවේ ආරම්භය කුම්භ තාරුකා රාශිය ආශ්‍රිතව සිදුවන බව නිරීක්ෂණය කරලා තිබෙනවා. නැගෙනහිර අහස දෙසබලා සිටින ඔබට, එකා පිට එකා ඇඳීයන රිදී පැහැති ආලෝක ධාරාවන් දැකගත හැකිවේවි.
මේ සොඳුරු දසුන වඩාත් හොඳින් නිරීක්ෂණයට හෙට අලුයම නැගෙනහිර දෙසට මුහුණලා සිටින ලෙස උපදෙස් ලබාදී තිබෙනවා.
නගරයේ විදුලි පහන් ආලෝකයෙන් මිදී, හැකිතරම් අඳුරු ස්ථානයක සිට නිරීක්ෂණය කිරීමට පියවරගන්නා අතර, ඇස් අඳුරට හුරුවීමට විනාඩි 10-15ක් පමණ ගතවන බැවින් ඉවසීමෙන් යුතුව අහස දෙසබලා සිටීමට කටයුතු කරන ලෙස ඔවුන් වැඩිදුරටත් මතක් කරලා තිබෙනවා.