තලපති විජේ තමිල්නාඩුව උඩුයටිකුරු කරයි! මහ ඇමති ස්ටාලින් තෙවන ස්ථානයට ඇද දමමින් විජේ පෙරමුණට!
සිනමා තිරයේදී දුෂ්ටයන් පරදා ජයග්‍රහණය කරන තලපති විජේ, දැන් තමිල්නාඩු දේශපාලන මඩබිමේත් සැබෑ රජෙකු වී ඇති බවට ඉඟි පළවෙමින් තිබේ.
මේ වන විට පැවැත්වෙන තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු අතරතුර මුළු ඉන්දියාවම මවිත කරවන ප්‍රතිඵල නිකුත් වෙමින් පවතින බව වාර්තා වේ.
තමිල්නාඩු දේශපාලන ඉතිහාසය උඩුයටිකුරු කරමින් තලපති විජේගේ ආගමනයත් සමඟ එතෙක් පැවති සාම්ප්‍රදායික දේශපාලන බලපොරය සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බව වාර්තා වෙනවා.
මුලින්ම නිකුත් වූ ප්‍රතිඵල අනුව පක්ෂ අතර කරට කර සටනක් පවතින බව පෙනෙන්නට තිබුණද, දහවල් වන විට තත්ත්වය සම්පූර්ණයෙන්ම විජේට වාසිදායක ලෙස වෙනස් වී ඇති බව වාර්තා වෙනවා. අවසන් වාර්තා අනුව තලපති විජේ නායකත්වය දෙන තමිලග වෙට්ට්‍රි කලගම් (TVK) පක්ෂය ආසන 105ක දැවැන්ත පෙරමුණක් ගනිමින් ප්‍රථම ස්ථානයට පත්ව තිබෙනවා.
තමිල්නාඩුවේ වත්මන් මහ ඇමති එම්.කේ. ස්ටාලින් ප්‍රමුඛ DMK පක්ෂයට මෙවර අනපේක්ෂිත පසුබෑමකට මුහුණ දීමට සිදු වී ඇති බව පැවසෙන අතර, ඔවුන් ආසන 57ක් ලබා ගනිමින් තෙවන ස්ථානය දක්වා පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ. AIADMK පක්ෂය ආසන 71ක් ලබා ගනිමින් දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.
වසර ගණනාවක් තමිල්නාඩුව පාලනය කළ දැවැන්ත දේශපාලන පක්ෂ පරදවමින්, විජේගේ නවක පක්ෂය මෙලෙස පෙරමුණ ගැනීම ඉන්දියානු දේශපාලන විචාරකයන්ගේ පවා මවිතයට හේතු වී ඇති බවයි පැවසෙන්නේ. විජේගේ ආගමනයත් සමඟ තමිල්නාඩු තරුණ පරපුරේ දැවැන්ත ආකර්ෂණයක් ඔහු වෙත යොමු වී ඇති බව මේ ප්‍රතිඵලවලින් මනාව පැහැදිලි වන බව විචාරකයන් පෙන්වා දෙනවා.
මේ වන විටත් විජේගේ රසිකයන් සහ පක්ෂ සාමාජිකයන් වීදි බැස ජයග්‍රහණය සමරමින් සිටින බව තමිල්නාඩුවෙන් වාර්තා වන අතර, අවසන් ප්‍රතිඵලය විජේට වාසිදායක වුවහොත් තමිල්නාඩුවේ මීළඟ මහ ඇමති කිරුළ තලපති විජේට හිමි වීමට වැඩි ඉඩකඩක් පවතින බවයි දේශපාලන අංශ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.