අද එළියට බහිනකොට පරිස්සමෙන්.. කාලගුණයෙන් දුන් හදිසි නිවේදනය මෙන්න.
අද (03) දිවා කාලයේ උණුසුම් කාලගුණයක් පැවතිය ද, පස්වරු 2.00න් පමණ පසුව දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයකර තිබෙනවා.
මේ හේතුවෙන් පවතින උණුසුම් තත්ත්වයේ යම් වෙනසක් අපේක්ෂා කළහැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
කාලගුණ වාර්තාවලට අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු-මැද, නැගෙනහිර පළාත් හා බදුල්ල, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල තැනින් තැන වැසි ඇතිවීමේ ප්‍රවණතාවක් පවතින බව නිවේදනයකර තිබෙනවා.
විශේෂයෙන්ම සබරගමුව පළාතේත් කොළඹ, කළුතර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ඉක්මවූ තරමක තද වැසි ඇති වියහැකි බව කාලගුණ විද්‍යාඥයින් අනාවැකි පළ කළේ.
අද උදෑසන කාලයේදී දකුණු පළාතේත් කළුතර හා කොළඹ දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවලට වැසි ඇතිවිය හැකිබව වාර්තා කළා.
මීට අමතරව මධ්‍යම, සබරගමුව, ඌව පළාත්වල හා අම්පාර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වාදී තිබෙනවා.
ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින්, අකුණු මඟින් සිදුවන අනතුරු අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කළා.
එළිමහන් ස්ථානවල රැඳීසිටින විටත්, විද්‍යුත් උපකරණ භාවිත කරන විටත් වඩාත් සැලකිලිමත් වියයුතු බව ඔවුන් අවධාරණයකර තිබෙනවා.