2026 හජ් වන්දනා සමය ඇරඹෙයි! ප්‍රථම වන්දනා නඩය ඊයේ රාත්‍රියේ මක්කම බලා පිටත්ව යයි.
Saturday, 02 May 2026 - 17:35 | Views - 81

2026 වසරේ ශුද්ධ වූ හජ් වන්දනා සමය නිල වශයෙන් ආරම්භ කරමින්, 325 දෙනෙකුගෙන් සමන්විත ප්‍රථම වන්දනා නඩය ඊයේ (01) රාත්‍රියේ සෞදි අරාබිය බලා පිටත්ව ගොස් තිබෙනවා.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ජෙඩා නුවර බලා මේ පිරිස පිටත්ව ගියබව අප ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කළා.
සෞදියා ගුවන් සේවයට අයත් SV-839 දරන විශේෂ ගුවන් යානය මඟින් මේ පිරිස ඊයේ රාත්‍රී 09.05ට කටුනායකින් පිටත්ව ගොස් තිබෙනවා.
වන්දනාකරුවන් පිටත්ව යන අවස්ථාවේදී ගුවන් තොටුපොළ පිටවීමේ පර්යන්තයේ විශේෂ උත්සවයක්ද සංවිධානය කර සිටියා.
මේ අවස්ථාවට සහභාගිවූ නියෝජ්‍ය කතානායක රිස්වි සාලි හා ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කාලීඩ් හමූද් අල් කහ්තානි වන්දනාකරුවන්ට සිය සුබපැතුම් එක්කළා. ශ්‍රී ලංකා හජ් කමිටුවේ උසස් නිලධාරීන් පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියා.
හජ් කමිටුව සඳහන් කළේ 2026 වසර සඳහා ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව අතරින් 3,500 දෙනෙකු තෝරාගෙන තිබෙනවා. ඔවුන් ඉදිරියේදී සෞදියා ගුවන් සේවයට අමතරව කටාර් ගුවන් සේවය හරහාද මක්කම බලා රැගෙන යාමට කටයුතු සූදානම්කර තිබෙනවා.
තමන්ගේ ආගමික වතාවත් ඉටුකිරීම සඳහා පිටත්ව ගිය මේ වන්දනාකරුවන් හට අවශ්‍ය සියලුම පහසුකම් සෞදි රජය හා මෙරට හජ් කමිටුව එක්ව සම්පාදනය කරලා තිබෙනවා.
Share This Article