ලොකු වැඩ කළ පුංචි මිනිසාගේ සමුගැනීමට වසර 33යි. කොළඹදී විශේෂ සැමරුම් හා ආගමික වතාවත් රැසක්..
ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ නොමැකෙන නමක් සනිටුහන්කළ හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණසමරුව අදට (මැයි 01) යෙදී තිබෙනවා.
මෙය නිමිති කරගනිමින් අද පෙරවරුවේ කොළඹදී විශේෂ සැමරුම් උත්සව හා ආගමික වතාවත් රැසක් සංවිධානය කරලා තිබෙනවා.අද පෙරවරුවේ කොළඹ අලුත්කඩේ පිහිටි රණසිංහ ප්‍රේමදාස පිළිරුව අසලදී ගුණසමරු උත්සවය පැවැත්වුණා.
මේ සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා හිටපු ජනපති ආර්යා හේමා ප්‍රේමදාස ඇතුළු පවුලේ සාමාජිකයින් එක්වෙලා සිටියා.
සිය ආදරණීය ස්වාමිපුරුෂයාගේ පිළිරුවට පුෂ්පෝපාහාර දක්වන අවස්ථාවේදී හේමා ප්‍රේමදාස අතිශය සංවේදී වූ ආකාරය එහි සිටි කාගේත් නෙතට කඳුළක් එක්කළා.
මේ අතර දිවංගත ජනාධිපතිවරයාට පින් පැමිණවීම වෙනුවෙන් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී විශේෂ ආගමික වතාවත් මාලාවක් පැවැත්වුණා.
පූජ්‍ය තන්තිරිමලේ සරණ ස්වාමීන් වහන්සේ විසින් එහිදී සුමධුර ධර්ම දේශනාවක් පැවැත්වූ අතර ගංගාරාම විහාරාධිපති අතිපූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජී නායක ස්වාමීන් වහන්සේ විසින් කෙටි අනුශාසනාවක් පවත්වමින් එතුමාගේ සේවය ඇගයීමට ලක්කළා.
1993 මැයි මස පළමුවැනිදා දහවල් 12:45 ට පමණ කොළඹ ආමර් වීදිය මංසන්ධියේදී එක්සත් ජාතික පක්ෂ මැයි දින පෙළපාලිය මෙහෙයවමින් සිටි ජනාධිපතිවරයා ඉලක්කකර ගනිමින් එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ලවුණා.
ඉතා සාමාන්‍ය ලෙස ආරක්ෂක මදිකම් නොතකා ජනතාව අතර සිටිමින් පෙළපාලිය හසුරුවමින් සිටි ජනාධිපතිවරයා අසලටම පැමිණි බෝම්බකරු විසින් මේ අමානුෂික ප්‍රහාරය එල්ලකළ අතර, ඉන් එතුමා ඇතුළු පිරිසක් එතැනම ජීවිතක්ෂයට පත්වුණා.
දුප්පත්කම පිටුදැකීමට සැබෑ ලෙසම කැපවුණු නායකයෙකු ලෙස රණසිංහ ප්‍රේමදාස නාමය සදාකාලිකවම ඉතිහාසයේ රැඳී පවතිනු ඇති. "අයහපත කරන්නාට නොව, යහපත කරන්නාට බිය වන්න" යන්න ඔහු නිරන්තරයෙන් පැවසූ ප්‍රසිද්ධ කියමනක්.