බොලිවුඩයේ සදාකාලික පුරාවෘත්තය 'මධුභාලා' යළිත් රිදීතිරයට.. ඇයගේ චරිතයට පණදෙන්න සාරා සැරසෙයි.
ඉන්දියානු සිනමාවේ "වීනස් දේවතාවිය" ලෙස හැඳින්වුණු, රංගන ප්‍රාතිහාර්යයක්වූ මධුභාලාගේ අබිරහස් හා අනුවේදනීය ජීවිත කතාව සිනමාවට නැගීමට සියල්ල සූදානම්වෙලා තිබෙනවා.
වසර ගණනාවක් තිස්සේ බොලිවුඩයේ දැවැන්ත නිළියන් අතර පැවති මහා තරගයකින් අනතුරුව, මධුභාලාගේ චරිතය නිරූපණය කිරීමේ වාසනාව නවක නිළි සාරා අර්ජුන් (Sara Arjun) තමාසතු කරගෙන ඇතිබව නිෂ්පාදන කණ්ඩායම දැන් තහවුරුකර තිබෙනවා.
මධුභාලාගේ චරිතය සඳහා සුරූපී කියාරා අද්වානි හා සායි පල්ලවී වැනි තාරකාවියන්ගේ නම් මුලින් යෝජනාවී තිබුණා.
නමුත් "ධුරන්දර්" චිත්‍රපටයේ රංගනයෙන් කාගෙත් සිත් දිනාගත් සාරා අර්ජුන්, අවසානයේ මේ සුවිශේෂී අවස්ථාව තමන් සතු කරගැනීමට සමත්වුණා.
අයවැය ප්‍රශ්න නිසා අතරමඟ නතරවී තිබූ මේ ව්‍යාපෘතියට නව පණක් ලැබුණේ ප්‍රවීණ අධ්‍යක්ෂ සංජේ ලීලා භන්සාලි නිෂ්පාදකවරයා ලෙස මීට එක්වීමත් සමඟයි.
ජස්මීත් කේ. රීන් විසින් අධ්‍යක්ෂණය කරනු ලබන මේ චිත්‍රපටය තුළින් මධුභාලාගේ ජීවිතයේ මෙතෙක් හෙළිනොවූ බොහෝ පැතිකඩයන් දිගහැරීමට නියමිතවෙලා තිබෙනවා.
මේ චරිතාපදානය තුළින් මධුභාලා හා සුපිරි නළු දිලීප් කුමාර් අතර පැවති ආත්මීය ප්‍රේමය බිඳීයාම, අනතුරුව ඇය කිෂෝර් කුමාර් සමඟ විවාහවීම හා උපතින්ම හෘදයේ සිදුරක් සහිතව ඇය විඳි වේදනාත්මක ජීවිතය ගැන කියවෙනවා.
වයස අවුරුදු 36ක් වැනි කෙටි කාලයකදී ලෝකයම හඬවා ඇය සමුගත් ආකාරය ප්‍රේක්ෂකයින්ගේ දෑසට කඳුළු ගෙනෙනු ඇතැයි විශ්වාස කරනවා.
