පිළිකා මාරයා පරද්දන්න මීමැස්සාට හැකිවෙයිද? ලෝකයම මවිතකළ සොයාගැනීමක් මෙන්න.
Wednesday, 22 April 2026 - 13:55 | Views - 59

වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ නව පෙරළියක් ඇති කරමින්, මීමැසි විෂ (Bee Venom) මගින් ඇතැම් දරුණු පිළිකා සෛල විනාශ කළහැකි බවට නවතම පර්යේෂණයක් මගින් අනාවරණය වෙලා තිබෙනවා.
බටහිර ඕස්ට්‍රේලියාවේ හැරී පර්කින්ස් වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් සිදුකළ මේ පර්යේෂණය ලෝකයේම අවධානය දිනාගන්න සමත්වෙලා.
වසර 5,000කටත් වඩා පැරණි ඉතිහාසයක් ඇති මීමැසි නිෂ්පාදන භාවිතය, වර්තමාන විද්‍යාඥයන් විසින් නව මාවතකට යොමුකරලා තිබෙනවා.
මීමැසි විෂ තුළ අඩංගු 'මෙලිටින්' (Melittin) නම් ප්‍රබල සංයෝගයට, පිළිකා සෛලවල වර්ධනය අඩාලකර ඒවා විනාශකිරීමේ සුවිශේෂී හැකියාවක් පවතින බව මේ පර්යේෂණවලින් හෙළිවෙලා.
විශේෂයෙන්ම ප්‍රතිකාර කිරීම අසීරු "Triple-negative" හා "HER2-enriched" යන පියයුරු පිළිකා වර්ග පාලනය කිරීමට මෙමගින් හැකියාව පවතිනබව සොයාගෙන තිබෙනවා.
විද්‍යාගාරතුළ සිදුකරන ලද පර්යේෂණවලදී මේ මෙලිටින් සංයෝගය මගින් පිළිකා සෛලවලට මියයන ලෙස සංඥා නිකුත්කරන බව නිරීක්ෂණය වෙලා තිබෙනවා. මීට පෙර මෙලනෝමා (Melanoma) වැනි පිළිකා වර්ග සඳහාද මීමැසි විෂ භාවිතයෙන්සා ර්ථක ප්‍රතිඵල ලැබී තිබෙනවා.
කෙසේවෙතත්, තවමත් මෙය පවතින්නේ පූර්ව සායනික පර්යේෂණ මට්ටමේ නිසා එය මිනිස් සිරුරට ආරක්ෂිත ලෙස ලබාදීම සඳහා තවදුරටත් පර්යේෂණ අවශ්‍ය බව විද්‍යාඥයන් පෙන්වාදීලා තිබෙනවා.
මීමැසි විෂ සෛල පටලවලට හානිකරන බැවින්, එය පිළිකා නාශක ඖෂධයක් ලෙස නිපදවීමේදී රෝගියාට හානියක් නොවන පරිදි සමතුලිතව භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳව දැන් අවධානය යොමුවෙලා තිබෙනවා.
මේ මගින් අනාගතයේදී පිළිකා රෝගීන්ට වඩාත් පහසුවෙන් දරාගත හැකි නවීන ප්‍රතිකාර ක්‍රමවේදයන් බිහිවනු ඇතැයි විශ්වාස කරනවා.
පියයුරු පිළිකා කියන්නේ ලොවපුරා කාන්තාවන්ට බහුලව වැළඳෙන රෝගයක්වන අතර, මෙවැනි නව සොයාගැනීම් හරහා එම රෝගීන්ට නව බලාපොරොත්තුවක් එක්කරලා තිබෙනවා.
Share This Article