අද හවස එළියට යනවානම් දෙපාරක් හිතන්න. අකුණු අනතුරු ගැන කාලගුණයෙන් ආ විශේෂ අනතුරු ඇඟවීම මෙන්න.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයකර තිබෙනවා.
පසුගිය දින කිහිපය පුරා දිවයිනේ ප්‍රදේශ රැසක පෑවිල්ල සහිත කාලගුණයක් පැවති නමුත්, අද දිනයේ එම තත්ත්වය වෙනස් වී වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
අද දිනයේ කාලගුණික වෙනස්කම් කිහිපයක් පිළිබඳව වාර්තාවෙලා තිබෙනවා.
ඒ තමයි උතුරු, උතුරු-මැද, මධ්‍යම හා සබරගමුව පළාත්වලත් කුරුණෑගල හා ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති වියහැකි බව පවසා තිබෙනවා.
මධ්‍යම, සබරගමුව, උතුරු-මැද හා ඌව පළාත්වල අද අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිබව ද වාර්තාවෙලා තිබෙනවා.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් හා අකුණු මඟින් සිදුවන අනතුරු අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මීටපෙර අවස්ථාවලදී අකුණු අනතුරු හේතුවෙන් ජීවිතහානි වාර්තාවී තිබූ බැවින්, මේ පිළිබඳව දැඩි විමසිල්ලෙන් සිටිය යුතු බව ඔවුන් අවධාරණයකර තිබෙනවා.
කන්කසන්තුරය සිට පුත්තලම, කොළඹ, ගාල්ල හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති වියහැකි බවට පුරෝකථනයකර තිබෙනවා.
පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 45 දක්වා ඉහළ යා හැකිබව පවසා තිබෙනවා.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු වියහැකි බවටද අනතුරු ඇඟවීම් නිකුත් කරලා තිබෙනවා.