චීවරයට මුවාවී කළ මහා විනාශය. බැංකොක් ගිය භික්ෂූන් පිරිසකට කටුනායකදී සිදුවූ දේ මෙන්න.
Monday, 27 April 2026 - 9:08 | Views - 97

ශ්‍රී ලාංකේය ඉතිහාසයම කැළඹූ අතිශය සංවේදී හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් කටුනායක ගුවන්තොටුපළේදී ඊයේ (26) දින හෙළිකර ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත්වෙලා තිබෙනවා.
රුපියල් කෝටි 110ක් වටිනා 'කුෂ්' හා 'හෂීස්' වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ චීවරධාරීන් 22නෙකු අත්අඩංගුවට අරගෙන තිබෙනවා.
මේ පිරිස අද මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුභානි අබේසේකර මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ලබන මැයි මස 02 වැනිදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී තිබෙනවා.
විශේෂ බුද්ධි තොරතුරකට අනුව පෙරේදා (25) රාත්‍රී 10.30ට පමණ ක්‍රියාත්මකවූ වැටලීමේදී, තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණි මේ භික්ෂූන් පිරිස ගුවන්තොටුපළ පිටවීමේ පර්යන්තයේදී අත්අඩංගුවට අරගෙන තිබෙනවා.
කටුනායක ගුවන්තොටුපළ ඉතිහාසයේ මෙතෙක් එක් වැටලීමකදී හසුවූ විශාලතම මත්ද්‍රව්‍ය තොගය මෙය බව පොලිසිය පවසුවා.
මේ ජාවාරම සිදුවී ඇති ආකාරය දුටු නිලධාරීන් පවා මවිතයට පත්වෙලා තිබෙනවා. සැකකාර චීවරධාරීන් විසිදෙදෙනාගේම (22) ගමන් මලුවල ව්‍යාජ පතුල් සකසා එම පතුල්තුළ මත්ද්‍රව්‍ය අසුරා, ඒ මතින් පෑන්, පැන්සල් වැනි පාසල් උපකරණ හා රසකැවිලි අසුරලා මත්ද්‍රව්‍ය ගබඩාකරලා තිබෙනවා.
මුළු මත්ද්‍රව්‍ය බර කිලෝග්‍රෑම් 110ක් වන අතර, එක් අයෙකුගේ මල්ලක කිලෝ 4-5 අතර ප්‍රමාණයක් අසුරලා තිබෙනවා.
කිසියම් අනුග්‍රාහකයෙකු ලබාදුන් ගුවන් ටිකට්පත් මගින් ඉකුත් 22 වැනිදා බැංකොක් බලාගිය මොවුන් උසස් අධ්‍යාපනය හදාරන තරුණ භික්ෂූන් පිරිසක් බව පොලිසිය අධිකරණයට අනාවරණය කළා.
මොවුන්ගේ ජංගම දුරකථන පරීක්ෂා කිරීමේදී, තායිලන්තයේදී සිවුරු ඉවත්කර සාමාන්‍ය ඇඳුමින් සැරසී සිටින ඡායාරූප හා වීඩියෝ රැසක්ද සොයාගෙන තිබෙනවා.
අධිකරණය හමුවේ සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නිතීඥ අජිත් පතිරණ, නිතීඥ නෙල්සන් කුමාරනායක, නීතිඥ දුලීෂා විජේසූරිය, නිතීඥ තරිඳු වික්‍රමනායක, නිතීඥ බුද්ධි උදාර, නිතීඥ සචිත් වෙල්ගම හා නිතීඥ නාමල් වනිගසූරිය කරුණු ඉදිරිපත් කළා.
සටහන: හිරු ප්‍රවෘත්ති ඇසුරින්.
Share This Article