ප්ලාස්ටික් රක්ෂණ කාඩ්පතට තිත තබයි.. මැයි මස 1 වැනිදා සිට වාහන රක්ෂණයේ ලොකු වෙනසක්..
Wednesday, 22 April 2026 - 9:47 | Views - 64

ජාතික ඩිජිටල්කරණ වැඩපිළිවෙළට සමගාමීව මෙතෙක් නිකුත්කළ ප්ලාස්ටික් මෝටර් රථ රක්ෂණ කාඩ්පත වෙනුවට ඩිජිටල් රක්ෂණ කාඩ්පත් පමණක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව තීරණය කරලා තිබෙනවා.
ලබන මැයි මස 1 වැනිදා සිට මෙය ක්‍රියාත්මක වනබව එම කොමිසම සියලුම රක්ෂණ සමාගම් වෙත දැනුම්දී තිබෙනවා.
දැනට ප්ලාස්ටික් කාඩ්පත් පාවිච්චි කරන අයට ඒවායේ කාලය අවසන් වනතුරු ගැටලුවකින් තොරව භාවිත කිරීමට අවස්ථාව ලබාදී තිබෙනවා.
රක්ෂණය අලුත් කිරීමේදී පමණක් ඔවුන්ට ඩිජිටල් කාඩ්පත හිමිවෙනවා. අලුතින්ම රක්ෂණය ලබාගන්නා අයට මැයි 1 සිට සෘජුවම මේ පහසුකම හිමිවන බව වාර්තාවුණා.
මේ ඩිජිටල් කාඩ්පත ස්මාර්ට් ජංගම දුරකතනයක ඊ-කාඩ්පතක් (e-version) ලෙස තබාගන්න පුලුවන් වගේම *1338# අංකය ඇමතීමෙන්ද තොරතුරු ලබාගත හැකියි.
ස්මාර්ට් දුරකතනයක් නොමැති අයෙකුට වුවත් තමන්ගේ වාහන අංකය හෝ ඔප්පු අංකය 1338 වෙත SMS කිරීමෙන් රක්ෂණය සක්‍රීයද යන්න තත්පර කිහිපයකින් දැනගැනීමට පහසුකම් සලසා තිබෙනවා.
මේ නව ක්‍රමවේදය යටතේ රියදුරන් ඉදිරිපත් කරන ඩිජිටල් කාඩ්පත් සත්‍යාපනය කිරීමට පොලිස් නිලධාරීන්ටද විශේෂ පුහුණුවක් ලබාදීමට නියමිතයි. ඒ වෙනුවෙන් දැනටමත් බස්නාහිර පළාතේ රථවාහන පොලිස් නිලධාරීන් වෙත ටැබ්ලට් පරිගණක 500ක් ලබාදීමට කටයුතු කරලා තිබෙනවා.
වාරිකයෙන් කොටසක් පමණක් ගෙවා වලංගු නොවන රක්ෂණ කාඩ්පත් පෙන්වමින් සිදුකරන වංචා වැළැක්වීම මේ නව ක්‍රමයේ ප්‍රධාන අරමුණක්.
එසේම ප්ලාස්ටික් භාවිතය අවම කිරීම හරහා පරිසරයට වන හානිය අවම කිරීමටත්, පිරිවැය ඉතිරි කර ගැනීමටත් මෙමගින් හැකියාව ලැබෙන බව රක්ෂණ නියාමන කොමිෂන් සභාව පැවසුවා.
ඒ අනුව, මේ නව ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත ඊයේ දින (අප්‍රේල් 21) නිල වශයෙන් මහ ජනතාවට හඳුන්වා දෙනබව ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව පැවසුවා.
Share This Article