ලෝකයම මවිත කළ ටයිටැනික් වෙන්දේසිය. ඉතිහාසයේ දරුණුතම ඛේදවාචකයේ සජීවී සාක්ෂිය මෙන්න.
Tuesday, 21 April 2026 - 15:18 | Views - 83

ලෝක ඉතිහාසයේ සිදුවූ බිහිසුණුම නෞකා අනතුරක් ලෙස සැලකෙන ටයිටැනික් නෞකාව මුහුදුබත් වූ අවස්ථාවේ දිවි බේරාගත් මගියෙකු පැළඳ සිටි දුර්ලභ ජීවිතාරක්ෂක කබායක් (Life Jacket) අතිවිශාල මුදලකට අලෙවිවෙලා තිබෙනවා.
ලෝරා මේබල් ෆ්‍රැන්කටෙලි (Laura Mabel Francatelli) නම් පළමු පන්තියේ මගියා පැළඳ සිටි මේ කබාය මෑතකදී පවත්වන ලද වෙන්දේසියකදී මෙලෙස අලෙවි වී ඇතිබව වාර්තාවුණා.
එංගලන්තයේ හෙන්රි ඕල්ඩ්‍රිජ් ඇන්ඩ් සන් (Henry Aldridge & Son) ආයතනය මගින් පැවැත්වූ වෙන්දේසියේදී මේ කබාය ස්ටර්ලින් පවුම් 670,000කට අලෙවිවෙලා තිබෙනවා. එය ශ්‍රී ලංකා රුපියල්වලින් නම් කෝටි 27කට අධික මුදලක්.
මුලින් මෙයට ලැබෙනු ඇතැයි ඇස්තමේන්තු කළ මුදල මෙන් තෙගුණයකට ආසන්න මුදලක් ලබා ගැනීමට හැකිවීම හරහා ටයිටැනික් මතකයන් කෙරෙහි ලෝකය තුළ පවතින දැඩි උනන්දුව මැනවින් පැහැදිලි වෙනවා.
වර්තමානය වනවිට ටයිටැනික් නෞකාවට අයත් ජීවිතාරක්ෂක කබා කිහිපයක් පමණක් ඉතිරිව පවතින අතර, දිවි බේරාගත් අයෙකු විසින් පැළඳ සිටි බවට තහවුරුවූ හා අත්සන් සහිතව වෙන්දේසිවූ එකම කබාය මෙය ලෙස සැලකෙනවා.
එම බිහිසුණු රාත්‍රියේ දිවි බේරාගැනීමෙන් පසු, ලෝරා හා ඇය සමඟ සිටි තවත් කිහිපදෙනෙකු මේ කබාය මත තම අත්සන් තබා තිබීම මෙයට සුවිශේෂී වටිනාකමක් එකතුකරලා තිබෙනවා.
භීතිය, අධික සීතල හා ජීවිතයත් මරණයත් අතර සටනක් නියෝජනය කරන මේ කබාය, වසර සියයකට වඩා පැරණි අතීත අත්දැකීමක් වර්තමානයට සම්බන්ධ කරන සැබෑ මූලාශ්‍රයක් ලෙස හඳුන්වන්න පුලුවන්.
එය හුදු ආරක්ෂක මෙවලමක් පමණක් නොව, ඉතිහාසයේ නොමැකෙන මතක සටහනක් ලෙස ලෝක අවධානය නිරන්තරයෙන් දිනා ගැනීමට සමත්වෙලා තිබෙනවා.
Share This Article