ශ්‍රී ලංකාවේ සාක්ෂරතාවය ඉහළට.. ලංකාවේ අධ්‍යාපනය ගැන නිකුත්වුණු අලුත්ම දත්ත වාර්තාව මෙන්න.
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන මට්ටම හා සාක්ෂරතාව පිළිබඳව සුවිශේෂී තොරතුරු රැසක් 2024 ජන හා නිවාස සංගණන අවසන් වාර්තාව මගින් හෙළිකරලා තිබෙනවා.
එම වාර්තාවට අනුව මෙරට සමස්ත සාක්ෂරතාව සියයට 97.4ක් දක්වා ඉහළ ගොස් තිබීම විශේෂත්වයක්.
අධ්‍යාපනය අතින් අප රට ඉදිරියෙන් සිටියත්, වයස අවුරුදු 25 හා ඊට වැඩි ජනගහනයෙන් 400,511 දෙනෙකු කිසි දිනක පාසල් ගොස් නොමැති බව සංගණන වාර්තාව පෙන්වා දෙනවා.
මෙයින් වැඩි පිරිසක් කාන්තාවන් වන අතර එම සංඛ්‍යාව 264,343ක් ලෙසයි වාර්තා වෙන්නේ.
විශේෂයෙන්ම නුවරඑළිය, මඩකලපුව හා බදුල්ල යන දිස්ත්‍රික්කවලින් පාසල් නොගිය පුද්ගලයින් වැඩි වශයෙන් හමු වී තිබෙනවා.
මේ වාර්තාව පෙන්වාදෙන පරිදි මෙරට ද්වීතියික අධ්‍යාපනය ලැබූ පිරිස කෝටි 8 ඉක්මවා තිබෙනවා.
එසේම උපාධි අධ්‍යාපන මට්ටම ලබා ඇති ජනගහනය 780,958ක් වන අතර ආචාර්ය උපාධිය දක්වා අධ්‍යාපනය හැදෑරූ පිරිස 11,757ක් බවයි සඳහන් වෙන්නේ.
කොළඹ දිස්ත්‍රික්කය සැලකීමේදී වැඩිම පිරිසක් උසස් පෙළ හෝ ඊට වැඩි සුදුසුකම් සහිත පුද්ගලයින් බවත් එහි දැක්වෙනවා.
මෙවර සංගණනයේදී ප්‍රථම වතාවට ඩිජිටල් සාක්ෂරතාව පිළිබඳ තොරතුරු රැස්කර තිබෙනවා. ඒ අනුව මෙරට ඩිජිටල් සාක්ෂරතා අනුපාතය සියයට 67.6ක් ලෙස වාර්තාවන අතර පරිගණක සාක්ෂරතාව සියයට 34.7ක් ලෙසයි සටහන් වෙන්නේ.
මෙරට සෑම දිස්ත්‍රික්කයකම ඩිජිටල් සාක්ෂරතාව සියයට 50 ඉක්මවා තිබීම විශේෂ කරුණක් ලෙස වාර්තාවේ සඳහන් කරලා තිබෙනවා.
සාක්ෂරතාව සැලකීමේදී නාගරික අංශය සියයට 98.4ක ඉහළ මට්ටමක පවතිනවා. එහෙත් වතු අංශයේ සාක්ෂරතාව සියයට 91.2ක් ලෙසයි වාර්තා වෙන්නේ.
කෙසේ වෙතත් 2012 වසරට සාපේක්ෂව සියලුම දිස්ත්‍රික්කවල පාසල් නොගිය පිරිසගේ ප්‍රතිශතය පහතවැටී තිබීම සුබදායී තත්ත්වයක් ලෙස හඳුනාගෙන තිබෙනවා.
ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවන මේ වෙනස්කම් ගැන රජය ඉදිරියේදී නව තීරණ රැසක් ගනු ඇතැයි ජනතාව බලාපොරොත්තු වෙනවා.