ලෝකයේම අවධානය දිනාගත් "ආලෝකා" ලංකාවට එයි.. ජාත්‍යන්තර සාම පා ගමනට සියල්ල සූදානම්.
සාමයේ පණිවිඩය ලොවපුරා රැගෙන යන ජාත්‍යන්තර සාම පා ගමන රාජ්‍ය අනුග්‍රහය යටතේ අද (21) ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම්කර තිබෙනවා.
මේ සුවිශේෂී ගමනට සහභාගී වන "ආලෝකා" (The Peace Dog) නැමැති සාමයේ සුරතලා අද අලුයම ශ්‍රී ලංකාවට පැමිණි බව බුද්ධ ශාසන අමාත්‍යාංශය පැවසුවා.
පඥාකර ස්වාමින් වහන්සේ සමඟ මෙරටට පැමිණි මෙම සුරතලා ලෝකය පුරාම විශාල අවධානයක් දිනාගෙන සිටිනවා.
ආලෝකාගේ ආරක්ෂාව, සෞඛ්‍ය හා සුබසාධනය වෙනුවෙන් රජය මගින් විශේෂ වැඩපිළිවෙළක් දැනටමත් සංවිධානය කර තිබෙනවා.
සාමයේ සංකේතයක් ලෙස මේ සුරතලා පා ගමන පුරාම හිමිවරුන් සමඟ රැඳී සිටිනවා.
මේ සාම පා ගමන මෙහෙයවනු ලබන්නේ පඥාකර ස්වාමීන් වහන්සේ ඇතුළු භික්ෂු පිරිසක් විසින්. අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධි වෘක්ෂයේ රෝපිත අංකුරයක් රැගෙන යාම මේ පා ගමනේ ප්‍රධාන අරමුණක් වී තිබෙනවා.
අද (21) පස්වරු 3.00 ට ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ රෝපිත අංකුරය පා ගමනට සහභාගීවන භික්ෂූන් වහන්සේලා වෙත භාරදීමට නියමිතයි.
ඉන් අනතුරුව පස්වරු 4.00 ට රුවන්වැලි සෑය අසලදී විශේෂ ආගමික වැඩසටහනක් පවත්වා සාම පා ගමන ආරම්භ කිරීමට කටයුතු සූදානම්කර තිබෙනවා.
ලෝක සාමය උදෙසා මෙරටින් ඇරඹෙන මේ උතුම් කාර්යය සඳහා ජනතාවගේ ද විශේෂ අවධානයක් යොමුව තිබෙනවා.