ජපාන වැසියන් සියල්ල අතහැර උස්බිම්වලට දුවන්නේ ඇයි? සම්පූර්ණ විස්තරය මෙන්න.
Monday, 20 April 2026 - 17:05 | Views - 130
තාක්ෂණයේ ඉහළින්ම සිටියත් සොබාදහමේ විපර්යාස හමුවේ නිරන්තරයෙන් පීඩාවිඳින ජපානයෙන් අද (20) තවත් පුවතක් වාර්තාවුණා.
ජපාන වේලාවෙන් අද පස්වරුවේ එරට ගිනිකොනදිග වෙරළතීරය කේන්ද්‍ර කරගනිමින් රික්ටර් මාපකයේ 7.5ක අගයක් සටහන්කළ අතිශය ප්‍රබල භූචලනයක් සිදුවෙලා තිබෙනවා.
භූචලනයේ ප්‍රබලත්වය කොතරම්ද කියනවානම්, ජපානයේ වෙරළබඩ ප්‍රදේශ රැසක ගොඩනැගිලි පවා තත්පර ගණනාවක් සෙලවී ගිය බව එරට මාධ්‍ය වාර්තාකළා.
මේ තත්ත්වයත් සමඟ ජපාන කාලගුණ විද්‍යා අංශ විසින් මීටර් 3 ක් (අඩි 10 ක්) පමණ උසැති සුනාමිරළ වෙරළට ළඟාවිය හැකි බවට දැඩි අනතුරු ඇඟවීම් නිකුත් කළා.
නවතම වාර්තාවලට අනුව, සුනාමි අනතුරු ඇඟවීම් නිකුත්වූ පළමු රළ පහර මේ වනවිටත් ජපානයේ ඉවාටේ (Iwate) ප්‍රාන්තයේ වෙරළට ළඟාවී තිබෙනවා. එම රළ සෙන්ටිමීටර් 40ක පමණ උසකින් යුක්තයි.
ඉදිරි පැය කිහිපය තුළ රළ පහරේ වේගය හා උස තවත් වැඩි වියහැකි බැවින්, වෙරළබඩ වෙසෙන සියලුම ජනතාවට වහාම ආරක්ෂිත උස්බිම් වෙතයන ලෙස ජපාන රජය නියෝගකර තිබෙනවා.
මේ වනවිට ජපානයම දැඩි අවදානම් සහගත හා භීතිකාජනක තත්ත්වයක පසුවන බව විදෙස් වාර්තා පවසනවා.

Share This Article