පාස්කු ප්‍රහාරයට වසර 7ක් පිරෙද්දී හෙට මුළු රටම මොහොතකට නතරවෙයි. යුක්තිය පතා කෙරෙන මහා සැමරුම මෙන්න..
Monday, 20 April 2026 - 16:05 | Views - 79

ශ්‍රී ලංකා ඉතිහාසයේ කළු පැල්ලමක් තැබූ බිහිසුණු පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට හෙට (අප්‍රේල් 21) දිනට වසර 7ක් සම්පූර්ණ වනවා.
ඒ වෙනුවෙන් ප්‍රහාරයෙන් වින්දිතයන් වූ පිරිස් සිහිපත් කරමින් හා ඔවුන්ට යුක්තිය ඉටු කරන ලෙස බල කරමින් රටපුරා විශේෂ සැමරුම් වැඩසටහන් රැසක් සංවිධානයකර තිබෙනවා.
‘සමිදාණෙනි යුක්තිය හා සත්‍ය වෙත අප ගෙනගිය මැනව’ යන්න මෙවර සැමරුමේ ප්‍රධාන තේමාවයි.
හෙට දින රටපුරා සියලු දේවස්ථානවල පෙරවරු 8.45 ට මළවුන්ගේ සීනුව නාදකිරීම, පෙරවරු 8.47 ට ඉටිපන්දම් හෝ පොල්තෙල් පහන් පත්තු කිරීම හා පෙරවරු 8.50 ට යාච්ඤා කිරීම ආරම්භවන බව ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා පැවසුවා.
මේ සැමරුම් වැඩසටහනේ ප්‍රධාන උත්සවය කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී පැවැත්වෙන්නේ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. මේ සඳහා විදෙස් තානාපතිවරුන්, ආගමික නායකයන් හා විශේෂ අමුත්තන් රැසක් සහභාගීවීමට නියමිතයි.
එහිදී විශාරද නන්දා මාලනිය විසින් ගායනා කරන විශේෂ ගුණසමරු ගීතයක්ද ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
මීගමුව කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදීද විශේෂ දිව්‍ය පූජාවන් හා සැමරුම් පැවැත්වෙන අතර, පස්වරු 4.00 ට මීගමුව මාරිස්ටෙලා විදුහල් ක්‍රීඩාංගණයෙන් ආරම්භ වන "යැදුම් පා ගමන" කටුවපිටිය දෙව්මැදුරු පරිශ්‍රය දක්වා ගමන් කිරීමට නියමිතයි.
Share This Article