ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක්.. මෙතෙක් නොතිබූ අමුතුම පහසුකමක් හෙට සිට..
Monday, 20 April 2026 - 12:10 | Views - 77

සැමට සම අවස්ථා ලබාදීමේ රජයේ ප්‍රතිපත්තිය යටතේ, ශ්‍රී ලාංකීය ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක් ඇති කරමින් "පතුල් පහළ ප්‍රමුඛතා බස් සේවාව" (Low Floor Bus Service) හෙට (21) සිට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම්කර තිබෙනවා.
ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී මේ නියමු ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතවෙලා තිබෙනවා.
‘Clean Sri Lanka’ වැඩසටහන යටතේ ක්‍රියාත්මකවන මේ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 430.7 ක දැවැන්ත ප්‍රතිපාදන මුදලක් වෙන්කර තිබෙනවා.
මෙහි මූලික අරමුණ වන්නේ ආබාධිත පුද්ගලයින්ට හා රෝද පුටු භාවිතා කරන්නන්ට මානව ගරුත්වය සුරැකෙන පරිදි පොදු ප්‍රවාහන සේවයක් සැපයීමයි.
රෝද පුටු භාවිතා කරන්නන්ට ඉතා පහසුවෙන් බස්රථයට ඇතුළු වියහැකි පරිදි බස්රථයේ පතුල පහළ මට්ටමක (Low Floor) පිහිටා තිබෙනවා. එක් බස්රථයක එකවර මගීන් 80කට ගමන් කළහැකි අතර ආසන 33කින් සමන්විතයි.
රෝද පුටු රඳවා තැබීම සඳහා විශේෂිත තාක්ෂණික අංග හා ආරක්ෂිත ක්‍රමවේද ඇතුළත්කර ඇති අතර නවීන වායුසමනය කළ (A/C) බස් රථ 10ක් මුල් අදියර යටතේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට පිටකොටුව දක්වා හා කඩවත දක්වා මාර්ග දෙකක් ඔස්සේ පෙරවරු හා පස්වරු කාලයේ විනාඩි 40ට වරක් බස්රථ ධාවනය කිරීමට නියමිතයි.
විශේෂයෙන්ම, රෝගී ජනතාවගේ පහසුව වෙනුවෙන් මහරගම අපේක්ෂා රෝහල හා කොළඹ ජාතික රෝහල ආවරණයවන පරිදි මේ බස් සේවාව ක්‍රියාත්මකවීම කැපී පෙනෙන කරුණක්.
Share This Article