රැකී රක්ෂා සඳහා පිටත්වයාමේ නැකත හෙටයි.. ඔබත් හෙට වැඩට යනවා නම් මේ තොරතුරු ටික දැනගෙනම යන්න.
සිංහල හා දෙමළ අලුත් අවුරුදු නිවාඩුව නිමා කරමින් යළි රැකී රක්ෂා සඳහා පිටත්වයාමේ නැකත හෙටට (20) යෙදී තිබෙනවා.
ඒ වෙනුවෙන් ගම්බිම් බලාගිය ජනතාවට යළි කොළඹට පැමිණීමට අවශ්‍ය සියලු පහසුකම් සලසා ඇතිබව ප්‍රවාහන බලධාරීන් පවසනවා.
මෙවර අලුත් අවුරුදු නැකත් සීට්ටුවට අනුව හෙට (20) රැකී රක්ෂා සඳහා පිටත්ව යාමට සුබ නැකත් වේලාවන් දෙකක් යෙදී තිබෙනවා.
පෙරවරු 06.27 ට හෝ පෙරවරු 06.50 ට සුදු හෝ නිල් පැහැති වස්ත්‍රයෙන් සැරසී, කිරි බතක් හා තල මිශ්‍ර කැවිලි අනුභවකර දකුණු දිශාව බලා පිටත්වයාම මැනවි යැයි නැකත් සීට්ටුවේ සඳහන් වෙනවා.
අද උදෑසන සිටම මහනුවර, ගාල්ල, අනුරාධපුරය හා හැටන් ඇතුළු ප්‍රධාන නගරවල බස් නැවතුම්පළවල විශාල මගී තදබදයක් දක්නට ලැබෙන බව අප වාර්තාකරුවන් පවසනවා.
මගී අවශ්‍යතාවය පරිදි අමතර බස්රථ යෙදවීමට සියලු පළාත් ප්‍රවාහන අධිකාරීන්ට අවසරදී ඇතිබව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ෂෙරීන් අතුකෝරල සඳහන් කළා.
මේ අතර, මගීන්ගෙන් වැඩිපුර ගාස්තු අයකරන හා ටිකට්පත් නිකුත් නොකරන බස්රථ සොයා කොළඹට ඇතුළු වන ප්‍රධාන මාර්ග 04ම ආවරණය වන පරිදි පැය 24 පුරා වැටලීම් ක්‍රියාත්මකයි.
ඊයේ රාත්‍රියේත් හයිලෙවල් හා ලෝලෙවල් මාර්ගවල විශේෂ වැටලීමක් කළුවැග්ගල නගරයේදී සිදුකළ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ජංගම පරීක්ෂණ ඒකකයේ ප්‍රධානී රෝහණ වත්තගේ පැවසුවා.
පසුගිය 8 වැනිදා සිට මේ දක්වා බස්රථ 680ක් පරීක්ෂාකර ඇති අතර, ඉන් වැරදි කළ බස්රථ 80කට එරෙහිව දඩ පනවා තිබෙනවා.
පස්වරුවේ ඇතිවිය හැකි තදබදය මගහරවා ගැනීමට හැකිතරම් වේලාසනින් බස් නැවතුම්පළවල් වෙත පැමිණෙන ලෙස ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මගීන්ගෙන් ඉල්ලා සිටියා.